අඹගහවත්තේ ශාසනවංස කවිධජ සිරි සද්ධම්මාචරිය යතිසඞ්ඝපති
ඉන්‍දාසභවර ඤාණසාමි මහානායක ස්වාමීන්‍ද්‍ර වරිතය

කළුතර කුමරිකන්දේ සුදර්ශන පරිවෙණාධිපති මහොපාධ්‍යාය කොත්මලේ සිරි සද්ධම්මවංස මහා ස්ථවිරපාදයන් විසින් සම්පාදිත කෘතියකි
(සංස්කරණය: පූජ්‍ය මහව ඤාණාලෝක හිමි)
කළුතර කුමරිකන්දේ සුදර්ශන පරිවෙණාධිපති මහොපාධ්‍යාය කොත්මලේ සිරි සද්ධම්මවංස මහා ස්ථවිරපාද විරචිත ප්‍රස්තාවනාව
ග්‍රන්‍ථාරම්භය
ශ්‍රෙෂ්ඨ වීර පුරුෂයන්ගේ උත්පත්තිය විරලවූයෙන් දිළිඳු වූ මේ මහී කාන්තා තොමෝ අධිකතර කාලාන්තරයකින්ම මහාත්ම්‍ය ගුණයෙන් ගුණවත් වූ භාග්‍යයෙන් සම්භාව්‍ය වූ සත් කීර්ති මූර්තීන් දිශානුදිශාවන් හෙළි කළ උතුම් වීර පුරුෂයෙකු උපදවන්නීය. දහනව වැනි ශතවර්ෂයේ ආදි භාගයෙහි වූ විෂ්ණු විංශතියෙහි දී අනෙක් බොහෝ රටවල් මෙන්ම ලක්මව් තොමෝ ද ධන්‍ය පුණ්‍ය ගුණසම්පන්න දරු රැසක් ප්‍රසව කළාය. සිංහල ධ්වජය බිමට බැහූ තැන් සිට ආරබ්ධ වූ ලඩ්කාන්‍ධකාරය දුරලීමට ඒ මේ උසස් පඬිවරයන්, ව්‍යක්ත කථිකයන්, ශාසන හිතවතුන් හා මහා ගුණවතුන් ගිහි පැවිදි උභය භූමියෙහි ම සිට ප්‍රයත්න දැරූ මේ කාලය වනාහි නියඟින් වියළී ගිය වනයක් දලුලන ඍතුවට පැමිණියා සේ විශිෂ්ට සොභා සම්පත්තියක් උද්වහනය කෙළේමැයි.
මේ ශ්‍රේෂඨ පුරුෂ ශ්‍රේණිය විසින් නඟන ලද ආගමික ජාතික උද්‍යොගයම ක්‍රමයෙන් වේගවත් වූ චක්‍රයක් මෙන් අද නවීන ගිහි පැවිදි වීරවරයන්ගේ හස්ත තලයන් හි නොනවත්නා ක්‍රියා ශක්තියකින් සමුන්නතියට පැමිණීගනයයි. මේ විශිෂ්ටතර ලෝක හිත කාරිත්‍වයේ දී නා නා පක්‍ෂයන් ග්‍රහණය කළ උත්තමයන් අතර පහළව උසස්ම ශාසනික මෙහෙයකින් ලඩ්කා භූමියට හා සිංහල මහා ජනතාවට පරමෝපකාරයක් සිද්ධකළා වූ මහා වීරවරයෙක් නම් අඹගහවත්තේ ඉන්‍දාසභවර ඤාණසාමි මහානායක ස්ථවිරපාදයන් වහන්සේ යි. මොහොට්ටිවත්තේ ගුණානන්‍ද සාමින් හා හික්කඩුවේ සිරි සුමඩ්ගල නායක ස්ථවිර, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක ස්ථවිර, වැලිගම සිරි සුමඩ්ගල ස්ථවිරාදී ව්‍යක්ත පඬිවරයන් මිසදුටු අඳුර හා ශාස්ත්‍රාන්‍ධකාරයත් දුරලා ධර්‍ම ශාස්ත්‍රාලෝකය උපදවන්නට ප්‍රයත්න දරද්දීම විභජ්ජවාදී තථාගත ධර්මය හා උසස් පිරිසිදු ශාසනික සුප්‍රතිපත්තියක් නඟාසිටුවාලීමට මේ ශාසනික මහා පඬිවරයන් වහන්සේ විසින් කායජීවිතාපේක්‍ෂා රහිතව දරන ලද මහා වීර්‍ය්‍යයෙහි ප්‍රතිඵලය අද ලක්දිව ලක්‍ෂ සඩ්ඛ්‍යාත මහා ජනතාවකට විශිෂ්ට ගුණ ඥාන සමෘද්ධියකින් ශාසන ධර්‍මරසාස්වාදනය පිණිස මහදුපකාරයක් ව පවතී. මේ කාලය වනාහි ධර්‍මමශාස්ත්‍රය අතින් ලක්දිව විශාල සංග්‍රාම භූමියක් වැනි විය. මිසදිටුවන් හා සමිදිටුවෝ ද, අධර්‍මවාදීන් හා ධර්‍මවාදීහු ද, නූගතුන් හා උගත්හු ද, දුෂ්ප්‍රතිපත්ති පූරකයන් හා සුප්‍රතිපත්තිකාමීහු ද, නිතර දම්යුදෙහි යෙදී උන්හ. අවශේෂ පඬිවරයන් අසාසනික මිසදිටුවන් සමඟ පොර බදද්දී මේ ඉන්‍දාසභවර ඤාණසාමි වීරපුරුෂයන් වහන්සේට බරපතල ලෙස සටන් කරන්නට සිදුවී තිබුණේ ස්වපක්‍ෂයට අයත් ශාසනික උගතුන් සමඟය. අදහස් වශයෙන් විෂම ලෙස පොදු ජනයාට වැටහෙතත් ප්‍රතිඵල වශයෙන් එකක්ම වූ මේ මතාන්තර ගතික ක්‍රියාවෝ වනාහි දෙමඟකින් ගොස් එක්තැනකට පැමිණීමක් වැනි ශාසනාත්‍ර්‍ථයෙහි සඵල වූ සාමයික ව්‍යාපාරයෝ වෙති. පරිශෝධක පක්‍ෂයෙහි සිටි මුන්වහන්සේගේ හා තදන්‍ය පක්‍ෂයන්ගේ සංඝර්‍ෂණය එකල හීනාද්‍ධ්‍යාශයවතුන්ගේ බලවත් උද්වේගයට හේතු වූවත් ශාසනරත්නයෙහි අදපවත්නා උද්දීපනයට කාරණ වූ ඒ සම්‍යක් ව්‍යාපාරය අදසිටින විද්වජ්ජනයාගේ ප්‍රහර්‍ෂයටම ගොචර වනබව පෙනී යයි.
මේ සුධීවරයන් වහන්සේ ශ්‍රේෂ්ඨ පදවිය භජනය කළේ ඇතැම් පින්වතුන් මෙන් කරුණකින් දෙකකින් නොවේ. කුල පරම්පරා වශයෙන් මෙන්ම ශාසන පරම්පරාවෙන්ද, ව්‍යක්ත විනීතභාවයෙන් මෙන්ම සුවිසද ඍජු නිර්භය භාවයෙන් ද, මෛත්‍රී කරුණා ගුණ මහිමයෙන් මෙන්ම තෙජසාධික්‍ය ආධිපත්‍යයෙන් ද, පණ්ඩිතභාවයෙන් පමණක් නොව ව්‍යක්තතර කථිකත්‍වයෙන් ද, යශෝමරීචින් පමණක් නොව ධුතව්‍රතාදීන් සහිත ලජ්ජී පෙසල ශික්‍ෂාකාමිත්‍වයෙන් ද යනාදියෙනි. මෙසේ අනූන ගුණසම්පන්න වූ මේ පුරුෂෝත්තමයාණන් ඇතැමකු සේ නායක නාම මාත්‍රයෙහිම නොව සැබෑ සංඝ පරිණායක භාවයෙහි පිහිටා දෙවිසි වර්‍ෂයක් කරන ලද අනල්ප වූ ලොකශාසන සංග්‍රහය අදත් ශාසනානුශාසකයන් ඉදිරියෙහි හෘදයඩ්ගම ප්‍රතිමූර්ත්තියක්ව පවතී. පරාක්‍රමයෙන් නිර්ජිත සතුරන් ඇති උන්වහන්සේගේ ශාසනානුශාසන සමයෙහි නාම මාත්‍රයට පැමිණි ශාසනකණ්ඨක පාපීන් අද උන්වහන්සේගේ භද්‍රාසනය ඉදිරියෙහි පරිහාසයෙන් දොඩමලු වීම ඒ උතුමාගේ කීර්තිය රැකීමෙහි වංශපාලකයන්ගේ අපොහොසත් බව හා ධුරයෙහි මහත් බවද ප්‍රකාශ කෙරේ. ඒ එසේමැයි.
ස්ථිර පැවතුම් ඇති උදාර චරිතශ්‍රීයෙන් හොබනා වූ මහාජනයාගේ හිත කාරිත්‍වයෙහි නියුක්ත වූ සත්පුරුෂයෝ තුමූ ජලධර මේඝකූටයන් සේ කලකින්ම ලොවැ දක්නා ලැබෙති. පුහු වලාකුල් වැනි උසස් පදවියට නැගි ජනයාගෙන් කවදත් ලොව හිස් නොවේ. එබඳු නාම මාත්‍රයන්ගෙන් අදත් ලක්දිව පිරී තිබෙන හෙයිනි. ඉන්‍දාසභවරඤාණසාමි නාමෝපලක්‍ෂිත මේ මාහිමි තුමාණෝ දුර්ලභ පුරුෂ ශ්‍රේෂ්ඨයෙක්ව තමන් උපන් සිංහල වංශය හා සම්බුද්ධ ශාසනයත් පුරුෂ පරාක්‍රමයෙන් උසස් තන්හි තබා දියුණු කෙරෙමින් දෙවිමිනිසුන් සහිත ලෝකයාගේ සුභසිද්ධිය සඳහා මොහොතකුත් කාලය හිස් නොකොට නිත්‍යේාත්සාහීව වැඩකළ සේකැයි දත යුතු.
“දුල්ලභො පුරිසාජඤ්ඤො – නසො සබ්බත්‍ථ ජායති
යත්‍ථ සො ජායති ධීරො – තං කුලං සුඛමෙධති”
ලොකමාන්‍ය වූ සජ්ජන ගීත කීර්ති ශරීරයක් ඇති මේ උතුමාගේ ජීවනචරිතය ඉතා විසිතුරු වූ ද උසස් තැනට හිණිමඟක් වැනි වූ ද වැදගත් කථා ශරීරයෙක් වේ. ශාසන හිත කාරණයෙහි උද්‍යොගී වූ ආධුනික සැදැහැවත් ගිහි පැවිදි ජනතාව උදෙසා ඒ මෙහි මධ්‍යම සංක්‍ෂේපයෙන් පුරාවෘත්ත ඇසුරුකොට ලියනු ලැබේ.
(සැකසුම: පූජ්‍ය මහව ඤාණාලෝක හිමි)
1. ජාතභූමිය හා කුලපරම්පරාව
ජන සමාජයේ ප්‍රපූජ්‍ය කීර්තිදේහයක් හා චරිතාවදානයක් ඇති බොහෝ ජන ශ්‍රේෂ්ඨයන්ගේ මෙන්ම මේ අඹගහවත්තේ මාහිමියන් වහන්සේගේ ද ජාතභූමිය හඳුන්වාලීම හා කුල පරම්පරා කථාවද එකම ඉතිහාසයක පදාන්තර සම්මිශ්‍රණයෙහි ලියවී යන්නේය. ගාළුවරායට හැතැප්ම දෙකහමාරක් පමණ දුරින් අක්මීවන යන ගම්වරය පිහිටා තිබේ. අවටින් ගලාබසින ඇලදොළින් හා සිත්කළු කෙත් පඩ්ක්ති වලින් ද මෙපෙදෙස සිත්අලවන සුළුය. ග්‍රාමාධිපතීන්ගේ ප්‍රියඩ්කර මන්‍දිරයන්ගේ හාත්පස පිහිටි විසිතුරු ඵලපල්ලවයෙන් රම්‍ය වූ ගෘහොද්‍යාන සමූහය විරල තරු ඇති නිල් අහස මැද කළුවලා කඩ සෙයින් හොබනාහ. අදත් සුසමෘද්ධ ජනාකීර්ණ වූ මේ රම්‍ය ප්‍රදෙශය උතුමන්ගේ උත්පත්තියෙන් හා ජන ශ්‍රේෂ්ඨයන්ගේ වාසයෙන් ද උදාර චරිතවත් බව පෘථිවි ලක්‍ෂණයෙන් තෙමේම ප්‍රකාශ කරන්නේ වැනිය. මේ අක්මීවන ගම්වරයෙහි මදනායක නම් වූ පිරිසිදු කුලවත් උසස් මුදලි පරම්පරාවක් ඇත්තේ ය. පෙර දී මුදලි පටලබන්නෝ රදලවරු වෙති. එබැවින් රදල මුදලි දෙපස නොවෙනස් ශිෂ්ට ලෝකයා අතර සම්මාන භාජන විය. මේ මදනායක පරම්පරාව වනාහි ලක්දිව ඇතැම් කලෙක රාජ්‍යානුශාසනය කළ මධුරින්‍ද මධුර යන නාමයන්ගෙන් ද ප්‍රකට වූ ක්‍ෂත්‍රියයන්ගේ පරම්පරාවෙහි වූ ම (දු) ඩුවන්වල යන නමින් දැන් ප්‍රකාශයට පැමිණ තිබෙන පෞරාණික උසස් රදල පරපුරෙහි ශාඛාවකි. මෙය මෙහෙසියන්ගේ හේතුවෙන් ලඩ්කා රාජපරම්පරාව හා අත්‍යන්ත සම්බන්‍ධයෙන් ලක්දිවට පැමිණි මධුරාජවංශය බව සැළකිය යුතුය. (මදුවන යන්න මීවන කියා සිංහලයට තද්භව වේ. අක් යනු අග්‍ර යනාර්ථයෙහි ය. මදුවන්වල පරම්පරාවට ඉතා (අග්‍ර) මුල්වූයේ ගාල්ලේ මීවන බැවින් මීට අක්මීවනයයි ව්‍යවහාර කළබව වෘද්‍ධයෝ කියති.) මෙහි තිබෙන මාලිගාතැන්න යන සිත්කළු භූමියෙහි වාසය කළ පැරණි රජකුමර කෙනෙකු සතුරු යුදයකින් පැරද පලාගොස් අට කලං කෝරළයෙහි වනගත පෙදෙසක අප්‍රසිද්‍ධව සිට ක්‍රමයෙන්දියුණුව පලාතෙහි අධිකාරම් පදවිය ලබා විසූ බවත් මෙතුමාගේ නාමයෙන් ඒ ගම්වරය මදුවන්වල යයි ව්‍යවහාර වූ බවත් පුරාවෘත්තයන්ගෙන් පෙනේ. මේ අධිකාරම් තුමාගේ මුණුපුරෙක් වූ මදුනායක කුඩා බණ්ඩාර නම් කුමරෙක් සිය දෙර හටගත් වියවුලක් නිසා එයින් නිත්ම පෘතුගීසි කාලයෙහි පහතරට බලා එනුයේ අතරමඟ යටලමත්තට පැමිණ පරිවාර ජනයාත් සමඟ කලක් එහි නැවතී සිට පසුව ගාල්ලට පැමිණ තමන් ගෙන ආ රන්මණ්ඩයක් හා ඇතෙකු පෘතුගීසි ආණ්ඩුකාරයාට තෑගි කොට ස්වකීය කුල සතුව පැවති පැරණි ගම්වරය වූ අක්මීවන හා මුදලි තනතුරක් ද ලබා අක්මීවන මාලිගාතැන්නෙහි සාදවන ලද මන්‍දිරයෙක්හි යසසින් වාසය කළේය. මේ මුදලිතුමාට පෘතුගීසි ආණුඩුවෙන් ලැබුණු නාමය දොන් පිලිප් ද සිල්වා මදනායක කියා වේ.
මුල්ගම රාළහාමි
මෙතුමා වනාහී රාජ උදහසකින් කම්පිතව පහතරට බලා අවුත් පෘතුගීසි ආණ්ඩුව යටතේ ගාල්ලේ තුවක්කුගල වත්තේ පදිංචිව සිටි මඩුවන්වල පලාතේ ම මුල්ගම මුල්ගම රදල පවුලකට අයත් කෙනෙකි. මෙතුමාට දූවරු ම සත්දෙනෙකු සිටිය බව පෙණේ. පිලිප් ද සිල්වා මදනායක මුදලි තෙමේ සුවකීය කුල පරපුරට සරිලන කෙනෙකු වූ මේ රාළහාමිගේ දූවරුන් අතුරෙන් වැඩිමහල් දියණිය විවාහ කොට ගත්තේය. අඹගහවත්තේ ඉන්‍දාසභවර ඤාණසාමි යතීන්‍ද්‍රයන් වහන්සේ මේ මුදලිතුමාගේ පස්වෙනි මුණුපුරා බව සැලකිය යුතුය. මෙසේ මෙබඳු වූ කුලපරම්පරා විසින් මේ ඉන්‍දාසභවර ඤාණසාමි පාදයෝ සත්මුතු පරපුරෙකිනුදු ජාතිවාදයෙන් නොකෙළෙසුණු අසම්භින්න ක්‍ෂත්‍රිය කුල පරම්පරාවෙක උපන්හයි දතයුතු.
මේ පරම්පරාවෙහි අන්තිමට නම් පෙණීයන දොන් මතෙස් ද සිල්වා මදනායක රාළහාමි අක්මීමන පිහිටි ස්වකීය ඉඩමක් වූ අඹගහවත්තේ අභිනව වාසභවනයක් ඉදිකොට එහි පදිංචියට ගිය තැන්සිට අඹගහවත්තේ රාළහාමිල්ලායයි ව්‍යවහාර ප්‍රාප්තවිය. යථෝක්ත මතෙස් ද සිල්වා මදනායක රාළහාමිට ස්වප්‍රිය භාර්‍ය්‍යාවවූ ඉදිවලවලව්වේගේ ලෙනෝහාමි රත්නායක මැතිණියගෙන් ඕර්ලිස් මදනායක කොරනේලියස් මදනායක අදිරියන් මදනායකයයි ප්‍රිය දරු තිදෙනෙක් වූහ. ජගත් ප්‍රථිත කීර්තිමත් අඹගහවත්තේ මාහිමියන් වහන්සේ නම් මේ සහෝදර කුමරුවන් තුන්පල අතුරෙන් ද්විතීයස්ථානයෙහි නම් පෙණීයන කොරනේලිස් මදනායක කුමරුවෝ ය. (අධෝලිපි: වත්හිමි යනු ද මෙතුමාට ගෘහ භාවිත නාමයකි.)
උත්පත්තිය
ධන්‍ය පුණ්‍ය ලක්‍ෂණ සමන්විත වූ මනොඥ රූප සෞන්දර්‍ය්‍ය සෞභාග්‍යයෙන් ශොභමාන වූ මේ කුමරුවාණෝ උසස් ග්‍රහයෝගයකින් සමන්විත වූ ශ්‍රී බුද්‍ධ වර්‍ෂ 2376 නොහොත් ශක වර්‍ෂ 1754 (ක්‍රි.ව. 1832) ඉල් මස පුර දොළොස්වක් ලත් ඉරුදින රෑ අට පැයට හතේ නැකතින් මොලොව එලිය දුටහ. ස්වකීය සහෝදරයන් මධ්‍යයෙහි ගහන් මැද පුර සඳ සේ වැඩෙමින් ධන්‍ය පුණ්‍ය ශ්‍රීයෙන් ලෝදනන් පිණවාලු මේ කුමරුවාණෝ ස්වකුලාම්බරයෙහි වැජඹුණෝ මාපියන් පෙම් සයුරු උදම් කළෝ පමණක් ම නොව බන්‍ධුවර්‍ග නමැති කොඳවනය ද පුබුදු කළෝය. මේ මදනායක කුලයට විශ්වාස භූඹීව ඇසුරු කළා වූ මහමෝදර විහාරස්ථානයෙහි වැඩසිටි පිලානේ නමින් පුසිද්ධ වූ ස්ථවිරයන් ඇසුරුකොට සිය කුලගෙහිදීම සහෝදරකුමරුවන් සමඟ අක්‍ෂර ශිල්පයෙහි හා කුලාචාරයෙහි ද මේ වත්හිමි කුමරතෙම හික්මවනු ලැබීය.