බුද්ධ ශාසනය වඩාත් ප්‍රතිපත්තිකාමීන්ගෙන් අනූන කරවීමේ උදාර අධ්‍යාශ ඇතිව, ආරණ්‍ය වාස පිළිවෙතින් රාමඤ්ඤ මහා නිකාය සැරසීමට මෙන්, ශ්‍රී බුද්ධ වර්ෂ 2495 පොසොන් පොහොය දා ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව පිහිටුවන ලදී. අතිගරු පූජණීය පණ්ඩිත මාතර සිරි ඤාණාරාම මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධානාර්‍ය්‍යයන් වහන්සේ වූහ. අතිගරු පූජණීය රාජකීය පණ්ඩිත කඩවැද්දුව ශ්‍රී ජිනවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ යෝගාශ්‍රම සංස්ථාවේ සමුප්පාදක හා ප්‍රධාන අනුශාසකයන් වහන්සේද වූහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය පිහිටුවා වදාළ අඹගහවත්තේ මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන රාමඤ්ඤ දේශයෙන් ගරු උපසම්පදාව ගෙනා ගරුතර සඟ පිරිසට නිශ්‍රයාචාර්‍ය්‍ය වූද, ප්‍රථම උපාධ්‍යායයන් වහන්සේ වූද, සම්භාවනීය පූජෝත්තම වරාපිටියේ සිරි සුම්ත්ත මහා ස්ථවිර ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපේ අතිගරු ප්‍රධානාචාර්‍ය්‍ය මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානාචාර්‍ය්‍යයන් වහන්සේ වෙති. යථෝක්ත වරාපිටියේ මාහිමියන් වහන්සේගේ ධර්මාන්තේවාසි වූද, සුපරිශුද්ධ සීලස්කන්ධාදී ගුණ තේජානුභාව සම්පන්න මාතලේ අග්ගධම්මාලංකාර මාහිමියන් වහන්සේගේ විශිෂ්ඨ ශිෂ්‍ය රත්නයක් වන අතිගරු ප්‍රධානාචාර්‍ය්‍ය මාතර සිරි ඤාණාරාම මාහිමියන් වහන්සේ, අනූපම ගුණධනාධාර කළුතර පෙමරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ ත්‍රිපිටක වාගීශ්වරාචාර්‍ය්‍ය රාජකීය පණ්ඩිත මුල්ලේගම ශ්‍රී සීලාලංකාරාභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අධිකරණ නායක මාහිමිපාණන් වහන්සේගේද ධර්මාන්තේවාසි වූහ. සමය සමයාන්තරයන්හි හා දේශ විදේශීය භාශාන්තරයන්හිද කෞශල්‍යයෙන් සුනිපුණ බුද්ධි ප්‍රභාවයෙන් සුභාවිත වූ චිරන්තන ප්‍රවිවේක වශයෙන් ඔප් නැගුණු තපෝ ගුණයෙන්ද සුගම්භිර වූ මේ මාහිමිපාණන් වහන්සේ සම්බුද්ධ ශාසනාභිවෘද්ධිය පරමාර්ථ කොට සමාරම්භ ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ පුරෝගාමී ප්‍රධානාචාර්‍ය්‍ය නෙතෲන් වහන්සේ වූහ.

අනුරාධපුර හඳගල අරණ්‍යාධිවාසීව වැඩවිසූ ධුතාංගධාරි අතිගරු පුලියංකුලමේ දීපංකරාභිධාන මාහිමියන් වහන්සේගේ හා අඹගහවත්තේ ඉන්ද්‍රසභවර ඤාණසාමි මහානායක මාහිමියන් වහන්සේගේද දීප්තිමත් ශිෂ්‍ය රත්නය වූ අතිගරු වදුරැස්සේ රතනජොත්‍යාභිධාන මාහිමිපාණන් වහන්සේගේ, සම්පූජණීය ශිෂ්‍ය රත්නයකි කඩවැද්දුව අතිගරු සුගුණතිස්ස මාහිමිපාණන් වහන්සේ. ඒ කඩවැද්දුව සුගුණතිස්ස මාහිමිපාණන් වහන්සේගේ සහ තත්ශිෂ්‍ය හොරණ පූර්වාරාමාධිපතිව වැඩ විසූ සදානුස්මරණීය කැකණඳුරේ සිරි ආර්‍ය්‍යවිලාසාසඟ මාහිමිපාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ශිෂ්‍ය රත්නය වූ ද, කොළඹ වැල්ලවත්තේ ශ්‍රී ධර්මෝදය පරිවෙණාධිපතිව වැඩ විසූ අතිගරු රස්නකවැවේ ශ්‍රී සද්ධර්‍මවංශ නායක මාහිමිපාණන් වහන්සේගේ ධර්‍මාන්තේවාසිවුද, තෙබුවන ග්‍රන්ථාකාර පරිවේණාධිපති ධූරය දැරූ බෝධිසත්ව ගුණෝපේත අතිපූජණීය රාජකීය පණ්ඩිත කඩවැද්දුව ශ්‍රී ජිනවංශ ස්වාමීන්දෝත්තමයාණන් වහන්සේ ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක ප්‍රධාන අනුශාසකයන් වහන්සේ වූහ.

අතිගරු ප්‍රධානාචාර්‍ය්‍ය ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සම්මුඛවීම.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අධිකරණ නායක ධූරන්ධර ත්‍රිපිටක වාගීශ්වරාචාර්‍ය්‍ය පූජ්‍ය පණ්ඩිත මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ධර්‍මාන්තේවාසි වූ අතිගරු පූජ්‍ය පණ්ඩිත මාතර සිරි ඤාණාරාම ස්වාමින්දෝත්තමයාණන් වහන්සේ, ස්වකීයචාර්යෝත්තම අති පූජණීය මාතලේ සිරි අග්ගධම්මාලංකාර මාහිමිපාණන් වහන්සේගේ සහ අති පූජණීය කලුතර පෙමරතන මාහිමිපාණන් වහන්සේගේ ද අභාවයෙන් පසු දේවගොඩ ශ්‍රී විජයාරාමාධිවාසීව විවේක සුවයෙන් විසූ සේක. කලින් කල බටුවිට ආරණ්‍යාදියෙහි විදසුන් සුවයෙන් කල් ගෙවූ අති පූජණීය මාහිමිපාණන් වහන්සේ විවේක සුවය ඉතා ප්‍රිය කළහ. ගම්භිර සුවිශුද ශීල ප්‍රභාවයෙන් හා අත්‍යන්ත පරිශුද්ධ චරිතාපදාන සම්පත්තියෙන් සමෘධ සන්තාන ඇති අතිගරු මාහිමිපාණන් වහන්සේ ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධානාචාර්‍ය ධූරයට සුදුසු අතුල්‍ය අසහාය උත්තමයන් වහන්සේ යැයි මැනවින් දන්නා අතිගරු පණ්ඩිත කඩවැද්දුව ශ්‍රී ජිනවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ, දේවගොඩ ශ්‍රී විජයාරාමයට වැඩම කරවා, යථෝක්ත ශාසන භාරධාරී උත්තමයන් වහන්සේට ආරාධනා කළහ.

වගකිය යුතු කාර්‍ය්‍ය භාරය නොගෙන හුදු විවේක සුවය ප්‍රිය කළ අතිගරු ප්‍රධානාචාර්‍ය්‍ය මාහිමිපාණන් වහන්සේ, මුලදී උපේක්‍ෂකව පැවති නමුත් නැවත නැවත සාර්ථකව කරුණු දැක්වීමේ සහජ දක්‍ෂතාවයෙන් පරිපූර්ණ අතිගරු පණ්ඩිත කඩවැද්දුව ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සානුකම්පිත ශාසනික ආරාධනය පිළිගෙන දේවගොඩ ශ්‍රී විජයාරාමාධිපත්‍යය අතිගරු මාතර සංඝශෝභන ස්වාමීන්ද්‍රයන් වහන්සේට පවරා දී අතිගරු ප්‍රධානාචාර්‍ය්‍ය ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ශාසන කෘත්‍ය සම්පාදනයෙහි නිරත වූ සේක් කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධානාචාය්‍ය නෙතෘන් වහන්සේ බවට පත්වූ සේක.

1951 ජනවාරි මාසයේ ජිනවංශ හිමියෝ කුරුණෑගල පළාතේ ධර්ම දේශනයක් සිදු කළහ. එහි ප්‍රතිඵලය වූයේ ඊළඟ වසර 10 තුළ කුරුණෑගල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසන 07ක් ඇති වීමයි. 1961 කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ 10 වන සංවත්සරය වන විට ඊට අයත් භික්‍ෂූන් සංඛ්‍යාව 100 ඉක්මවීය. ආරණ්‍ය සේනාසන 40ක් පමණ විය.මෙහි දියුණුවට ප්‍රබල හේතූන් වූයේ ජිනවංශ හිමියන්ගේ චතුර කථිකත්වය හා ඤාණාරාම හිමියන්ගේ දූරදර්ශී මාර්ගෝපදේශකත්වය යි. වනගත ජීවිතයේ දී එදිනෙදා පැන නැගෙන ප්‍රශ්ණ විසදා ගැනීමේදී පෙල දහම ආශ්‍රයෙන් කරුණු ඉදිරිපත් කිරීම ඤාණාරාම හිමියන් විසින් සිදු කර ඇත. එසේම ස්වකීය සඟ පිරිසේ දියුණුව සඳහා කිසියම් ආරණ්‍ය සේනාසනයකින් ඉවත් විය යුතුද, එසේ නැතිනම් තව දුරටත් එහි රැදී සිටිය යුතුද යනාදී තීරණාත්මක අවස්ථාවල දී අවසන් තීරණය දීම ඤාණාරාම හිමියන්ට භාර විය.

අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත මාතර ඤාණාරාම හිමියෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය ධූරයකින් සම්මානිත වූහ. ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ උපසම්පදා හා සීමා බන්ධනාදී වෙනත් විනය කර්ම විධිමත්ව සිදු කර ගැනීම සඳහා මෙම මහෝපාධ්‍යාය පදවිය පිරිනමා ඇති අතර 1992 දී උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු එම මහෝපාධ්‍යාය පදවිය අතිපූජ්‍ය කඩවැද්දුවේ ජිනවංශ නාහිමියන් වෙත පිරිනමා ඇත. අතිපූජ්‍ය මහෝපාධ්‍යාය කඩවැද්දුවේ ජිනවංශ නාහිමිපාණන්ගේ අපවත් වීමෙන් පසු ත්‍රිපිටකාචාර්ය නාඋයනේ අරියධම්ම නාහිමියෝ ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ අනුශාසක පදවියට පත් වූ අතර අතිපූජ්‍ය මහෝපාධ්‍යාය පදවියකින් ද සම්මානිත වූහ. නාඋයනේ අරියධම්ම හිමියෝ ත්‍රිපිටකය හා අටුවා පිළිබඳ ඉතා ගැඹුරු දැනුමකින් යුත්, ත්‍රිපිටකය වාචෝද්ගත කොට ඇති, විශ්මය එළවන සුළු ධාරණ හා ස්මරණ ශක්තියකින් හෙබි, ඉතා දුර්ලභ ගණයේ යථිවරයෙකි. එසේම විනය ශික්‍ෂාපද පිළිබඳ ව දැඩි සැළකීමකින් ක්‍රියා කරන විනය කර්ම පිළිබඳ ඉහළ ප්‍රායෝගික දැනීමකින් යුත් ඉතා කාරුණික නායකයෙකි. තියුණු නුවණකින් හෙබි මාර්ගෝපදේශකයෙකි. උන්වහන්සේගේ මෙම සුවිශේෂී දක්‍ෂතාවයන් අගය කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය අතිපූජ්‍ය අනුනායක ධුරයක් උන්වහන්සේ වෙත පිරිනැමූහ. 2016 වසරේ අග භාගයේ දී උන්වහන්සේ අපවත් වීමෙන් පසු එම මහෝපාධ්‍යාය ධූරය ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ පහළවිටියල ජනානන්ද නාහිමියෝ වෙත පිරිනමන්නට යෙදුණි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායික ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව අද මෙරට පමණක් නොව මුලු මහත් ලෝකයෙහි ම ප්‍රතිපත්ති ශාසනය බබුලුවන දැවැන්ත ථෙරවාදී ආයතනයක් බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට විශාල ආලෝකයක් ද ලබා දෙමිනි.

සකස් කිරීම

අතිපූජ්‍ය නුවරඑළියේ ඤාණසීල මහාස්ථවිරයන් වහන්සේගේ ලිපියක් ඇසුරිනි