ආරණ්‍යය යනු කුමක්ද

‘අරණ්‍යය’ හෝ ‘ආරඤ්ඤ’ යන්නෙන් වනය හෙවත් කැළෑව යන අර්ථය කියවේ. අරඤ්ඤායතනය යනු වනයෙහි වූ සේනාසනය යි. මෙය ‘ආරණ්‍යාරාමය’ ‘ආරණ්‍යායතනය’ ලෙස ද හැඳින්විය හැකිය. වනයෙහි නිතර වාසය කරන වනවාසී භික්‍ෂුව අරණ්‍යවාසී, ආරණ්‍යවාසී හෝ ආරඤ්ඤාධිවාසී ලෙස හැඳින්වේ. ‘අරණ විහාර’ හෝ ‘අරණ විහාරාංගය’ යනු නිකෙලෙස්ව විසීමේ පිළිවෙත යි.“දාය” යනුද ආරණ්‍යයට නමකි.චූල ගෝසිංග සූත්‍ර අටුවාවට අනුව ගෝසිංග සාලවන දාය යනු ගෝසිංග සාල වන ආරණ්‍යය වේ.

යටත් පිරිසෙයින් කුඩා වන රොදක හෝ කුටි ආදිය ඉදිකරගෙන භික්‍ෂූන් වාසය කරන්නේ නම් එම ස්ථානය ආරණ්‍යය හැටියට හැඳින්වීමට සාමාන්‍යයෙන් මහජානතාව පෙළඹෙති. එහෙත් ‘ආරණ්‍යය’ යන්න හඳුනා ගැනීමට නිශ්චිත ශාස්ත්‍රීය අර්ථ කථනයක් අවශ්‍ය වේ. විනය, සූත්‍ර හා අභිධර්ම යන කොටස් තුනෙහි ම ‘ආරණ්‍යය’ යන්නට අර්ථකථන සපයා ඇත.

ඒ අනුව විනයෙහි දක්වන්නේ,

“ඨපෙත්‍වා ගාමඤ්ච ගාමූපචාරඤ්ච අවසේසං අරඤ්ඤං නාම” යනුවෙනි. එනම් ගම හා ග්‍රාමූපචාරය හැර ඉන් ඔබ්බෙහි වූ සියලු වනය ආරණ්‍යය වේ යනුවෙනි.

අභිධර්මයේ දක්වන්නේ,

“නික්‍ඛමිත්‍වා බහිඉන්‍දඛීලං සබ්බමේතං අරඤ්ඤං”

මීට අනුව බාහිර ඉන්ද්‍රඛීලය හැර ඊට ඔබ්බෙහි වූ සියලු වනය ආරණ්‍යය ලෙස සැලකේ.

සූත්‍ර සාහිත්‍යයේ දක්වන්නේ,

“පඤ්චධනු සතිකං පච්ඡිමන්ති අරඤ්ඤකංග නිප්ඵාදකං සේනාසනං වුත්තං”

මෙයින් කියවෙන්නේ ආරණ්‍යය සඳහා යෝග්‍ය සේනාසනය ග්‍රාමෝපචාරයේ සිට දුනු පන්සියයකින් එහා වනය හැටියට ය. දුන්න යනු නව වියතකි. වියතට අඟල් දොළොසකි. මෙය මැනිය යුත්තේ වැට පවුරු ආදියෙන් වට කළ ගමේ ඉන්ද්‍රඛීලයේ සිට ආරණ්‍යයේ සීමට දක්වා ය. ආරණ්‍යයෙහි ආරම්භක සීමාවක් නොමැති නම් සියල්ලටම ඉදිරියේ ඇති සේනාසනය හෝ සන්නිපාත ශාලාව හෝ වන්දනීය ස්ථානය දක්වා මැනිය යුතුය.

ආරණ්‍ය වාසය

ආරණ්‍යය පිළිබඳව මෙබඳු අර්ථකථන ඉදිරිපත් වූයේ බුද්ධ කාලයේ ද ආරණ්‍ය වාසය ප්‍රිය කළ භික්‍ෂූන් බහුලව සිටි බැවිනි. එහෙත් ග්‍රාමවාසී හා ආරණ්‍යයවාසී හෙවත් වනවාසී හැටියට පැහැදිළි බෙදීමක් එකල පැවති බවට තොරතුරු විරළ ය. විශේෂයෙන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කේන්ද්‍ර කොට ගෙන මෙම ආරණ්‍යක භික්‍ෂු පිරිස කටයුතු කර ඇති බව පෙනේ. කස්සප සංයුක්තයේ එක් තැනකදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පවසන්නේ උන්වහන්සේ දීර්ඝ කාලයත් ආරණ්‍යයෙහිම වැඩ වාසය කළ බවයි. එසේම ආරණ්‍ය වාසයේම ගුණ කියනසුළු බවයි.නමුත් උන්වහන්සේලා ස්වකීය ජීවිතය වනගත පරිසරයක ගෙවා දමන හුදු ආරණ්‍යවාසීන්ම නොවූහ. ධර්ම විනය පිළිබඳ මනා පටුත්වයකින් හෙබි ශාසන භාරධාරී භික්‍ෂූන් වහන්සේලා ඒ අතර විරළ නොවූහ. ප්‍රථම ධර්ම සංගායනාව වැනි සුවිශේෂී ශාස්ත්‍රීය මෙහෙවරක මූලිකත්වය ගෙන ක්‍රියාකිරීමට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඒකමතිකව සංඝ සම්මතයෙන් තෝරා ගැනීමෙන් මේ බව පැහැදිළි වේ.

බුදුරදුන් පවා විටින් විට ආරණ්‍යවාසී වූ බව ත්‍රිපිටක සාහිත්‍යයෙන් පැහැදිළි වේ. දිනක් බුදුරදුන් හමුවට පැමිණි කොසොල් මහ රජතුමා බුදුරදුන්ගේ පා මුල හිසින් වැටී, බුදුරදුන්ගේ සිරි පතුල් මුවින් සිඹිමින්, දෙඅතින් පිරිමදිමින් බුදුරදුන්ට උදාර ගෞරවයක් කළේ ය. එවිට බුදුරදුහු කුමක් නිසා තමන් වහන්සේ කෙරෙහි මෙබඳු උදාර ගෞරවයක් දක්වන්නේ දැයි කොසොල් රජුගෙන් විමසූහ. එවිට බුදුරදුන්ට මෙබඳු ගෞරවයක් දැක්වීමේ එක් කරුණක් හැටියට කොසොල් රජු පවසන්නේ බුදුරදුන් බොහෝකල් ආරණ්‍ය ප්‍රාන්ත වන සෙනසුන්වල වැඩ වාසය කිරීම යි.

බුදුරදුන් එක් අවස්ථාවකදී මෙතෙක් ශාසනයේ පහළ නොවූ එහෙත් අනාගතයෙහි පහළ වන කරුණු කිහිපයක් අනාගත භය වශයෙන් පෙන්වා ඇත. මෙතෙක් පහළ නොවූ යන්නෙන් පැහැදිළි වන්නේ, මේ තත්වය බුදුරදුන් පෙන්වා වදාළේ ප්‍රථම බෝධි සමයේදී ම බවයි. ශාසනය පහළ වී කල්ගතවන විට ආසවට්ඨානීය ධර්ම පහළ වන විට මේ තත්වය උද්ගත වන බව තථාගතයන් වහන්සේ ප්‍රකට කළසේක. එබැවින් මෙම අනතුරු ඇගවීම තුළින් එම තත්වය කිසියම් ප්‍රමාණයකට හෝ මැඩ පවත්වා ගැනීමට ද උත්සහවත් වූහ. අනාගතයේදී භික්‍ෂූන්,

  1. පාංසුකූල සිවුරු හැරදමා වටිනා රෙදිවලින් නිම කළ සිනිඳු සුවපහසු සිවුරුවලට කැමති වනු ඇත. අකැප ලෙසින් සිවුරු ලබා ගැනීමට ද පෙළඹෙනු ඇත.
  2. ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනයන්හි වාසය හැර දමා, ගම් නියම්ගම් රාජධානි ආදියෙහි වාසය කිරීමට කැමති වනු ඇත.
  3. පිණ්ඩපාතයෙන් දිවි රැක ගැනීම හැරපියා, අකැප ලෙසින් ආහාර සෙවීමට පෙළඹෙනු ඇත. ආහර රැස්කර තබාගෙන ප්‍රයෝජනයට ගැනීම හෙවත් සන්නිධිකත පරිභෝජනයට පෙළඹෙනු ඇත.
  4. රුක්මුල්හි සිත් අලවා වාසය කිරීමට අකමැති වනු ඇත.
  5. විවේක විහරණය හැර දමා, භික්‍ඛුණී සාමණේර හා ආරාමිකයන් සමඟ බොහෝ වේලා කථාබස් කරමින් සිටීමට පෙළඹෙනු ඇත.

එසේම භික්‍ෂූන් ආරණ්‍යගත විය යුත්තේ කවර අරමුණකින්ද යන්නත් බුදුරදුන් පැහැදිළි කර ඇත. නමුත් එහි සඳහන් වන අන්දමට ඇතැමුන්,

  1. කරුණු පිළිබඳ ව නිසි අවබෝධයෙන් තොරව මුළාවෙන් යුක්තව ආරණ්‍යගත වේ.
  2. පවිටු අදහස්වලින් යුක්තව අනුන් රැවටීමේ චේතනාවෙන්, එහි සිව්පස සත්කාර බොහෝ වේ යැයි ආරණ්‍යගත වේ.
  3. උමතු බැවින් හෝ සිත දුර්වල වීමෙන් ආරණ්‍යගත වේ.
  4. බුදුරදුන් හා බුද්ධ ශ්‍රාවකයන් විසින් මෙය වර්ණනා කරන ලද්දේ යැයි ආරණ්‍යගත වේ.
  5. අල්පේච්ඡ බව නිසා, සිව්පසය ලද පමණින් සතුටුවීම නිසා, සැහැල්ලු පැවැත්ම නිසා, විවේක විහරණයෙහි ඇල්ම නිසා, සරළ දැහැමි දිවි පෙවෙතෙහි ඇල්ම නිසා, ආරණ්‍යගත වේ.

මේ අනුව ආරණ්‍යක භික්‍ෂු ජීවිතය ඉතා උසස් ආගමික ප්‍රගුණ කිරීම් සඳහා මාධ්‍යයක් වූ බවට මූලික දේශනාවන් පරීක්‍ෂා කිරීමෙන් පැහැදිළි වේ.

බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ද ක්‍රියාත්මක වූ මේ ආරණ්‍යයක සම්ප්‍රදාය ධර්මාශෝක යුගයේ ද සක්‍රිය ව පැවතුනි. තෙවන ධර්ම සංගායනාව සදහා ඒ වන විට ආරණ්‍යගතව හුදකලාව සිටි මොග්ගලී පුත්ත තිස්ස තෙරුන් වහන්සේ වැඩමවන ලද බව සමන්තපාසාදිකා විනයාර්ථකථාව පවසයි

ලක්දිව ආරණ්‍යක සම්ප්‍රදාය

ලංකාවට බුදු දහම ගෙන ඒමේ ධර්මධූත මෙහෙවර මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ධර්මධූත කණ්ඩායමෙන් ඉටු වූයේ ක්‍රි:පූ: 03 වන සියවසයේ මැද භාගයේ බව සම්මත පිළිගැනීම යි. එකල පටන්ම ආරණ්‍යක සම්ප්‍රදායක් ලංකාවේ ක්‍රියාත්මක විය. දේවානම්පියතිස්ස රජතුමා ඇතුලු පිරිසට මිහිඳු හිමියන් හා ධර්මධූත කණ්ඩායම අඹතලා පව්වේදී සම්මුඛ විය. එහිදී බණ අසා රජතුමා ඇතුළු පිරිස තිසරණගත බෞද්ධයන් බවට පත්වූහ. ඉන් අනතුරුව රජතුමා මේ රාජකීය ධර්මධූත පිරිසට අනුරාධපුර අගනුවරට වඩින ලෙස ආරාධනා කළේ ය. එහෙත් මිහිඳු හිමියන් අනුරාධපුර අගනුවරට සැතපුම් 08ක් පමණ ඈතින් ඝණ වනාන්තරයක් ව පැවති මිහින්තලා පර්වතයෙහිම වැඩ සිටීමට කැමැත්ත පල කළහ.

අනුරාධපුරය යුගයේද මේ ආරණ්‍යවාසී පරපුර අවිච්ඡින්නව පැවති බව පෙනේ. ථූපාරාමයේ පැවිදි වූ සහෝදර භික්‍ෂූන් දෙනමකගෙන් එකනමක් පාචීනඛණ්ඩරාජි ආරණ්‍යයේ වැඩ සිටීම හා ඊට සම්බන්ධ රසවත් තකා පුවතකින් මේ බව අණාවරණය වේ. ක්‍රි:පූ: 03 වන සියවසට අයත් රිටිගලින් හමු වූ සෙල්ලිපියක එම යුගයේ පටන් එහි ආරණ්‍ය සේනාසනයක් පැවති බවත් සූරතිස්ස රජු විසින් එම ස්ථානය දියුණු කළ බවටත් තොරතුරු හමුවේ.

මෙසේ දිගින් දිගටම ලංකාවේ ආරණ්‍යවාසී සඟ පරපුරක් පැවත ආ බව පෙනේ. 06 වෙනි පරාක්‍රමබාහු රජුගේ බෑණනුවන් වූ සිරිවර්ධන සෙනෙවි තුමා රජුගේ අණින් කටුපුළු නුවර බලකොටුවක් ඉදිකළ අතර ඒ බලකොටුව ශ්‍රීවර්ධන පුර නම් විය.එම නගරයට යාබඳ ඔහු විසින් ඉතා ශාස්ත්‍රානුකූලව ආරණ්‍ය සේනාසනයක් ඉදිකළ අතර එම සේනාසනය සඳහා භික්‍ෂූන් වැඩමවා ගත්තේ යාපහු නුවර වළස්ගල අස්ගිරි ආරණ්‍ය සේනාසනයෙනි. මෙසේ ක්‍රි:ව: 1312 වෙසක් මස මැදි පෝය දින අද පවත්නා අස්ගිරි මහා විහාරය එදා සඟසතුකොට පූජා කළේ සකලාංග සම්පූර්ණ ආරණ්‍ය සේනාසනයක් හැටියට ය. මින් පසුව අස්ගිරි ආරණ්‍යය කේන්ද්‍ර කොටගෙන ලංකාවේ නොයෙක් පළාත්වල ආරණ්‍ය සේනාසන ඉදිවිය.

රාමඤ්ඤ නිකාය හා ආරණ්‍යක සම්ප්‍රදාය

බුරුමයේ දී මෙන්ඩුං මහරජුගේ දායකත්වයෙන් 1861 ජුනි 12 දින රාමඤ්ඤ රට මණ්ඩලේ නුවර මහාවිසුථාරාමස්ථ විසුංග්‍රාම සීමාවේ දී ඤෙය්‍යධම්මාධි මුනිවර ඤාණකිත්තිස්සිරිපවර ධම්මසේනාධිපති මහාධම්ම රාජාධිගුරු සංඝරාජයාණන් වහන්සේ උපාධ්‍යාය කොට හැත්තෑ හයක් වූ ගන පූරක සංඝයා මධ්‍යයේ උපසම්පදා භූමියට පත්ව ලංකාවට වැඩමවීමෙන් පසු දැඩි විනයානුකූල ශික්‍ෂණයකින් හෙබි නව භික්‍ෂු වංශයක් පිහිටුවීම සඳහා ස්ථීරව අධිෂ්ඨාන කළහ. මේ සඳහා සහාය කොට ගත්තේ බුරුමයේ රාමඤ්ඤ රටේ දී උපසම්පදාව ලැබ ලංකාවට වැඩම කර සිටි ධුතංගධාරී ආරණ්‍යවාසී පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද මාහිමිපාණන් වහන්සේ හා සියම් රටේ ධම්මයුක්තික නිකායේ උපසම්පදා වී ලංකාවට පැමිණ මාතළේ කූඹියන්ගොඩ ආරණ්‍යවාසීව ධුතාංගධාරීව වැඩ සිටි වරාපිටියේ සුමිත්ත මාහිමිපාණන් වහන්සේ යන දෙනමයි.

මෙසේ රාමඤ්ඤ නිකාය බිහි කිරීමට මුල් වූ නාහිමිවරු තිදෙනාගෙන් දෙදෙනෙක්ම ආරණ්‍යවාසී භික්‍ෂූන් ය. පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද හිමියෝ රාමඤ්ඤ නිකාය ඇති වීමටත් පෙර පටන් ම ආරණ්‍යවාසීව සිටි යතිවරයෙකි. උන්වහන්සේ උපසම්පදාවෙන් පසු ලංකාවට වැඩමවා කිරින්ද පුවක්ගහමඩිත්ත ආරණ්‍ය සේනාසනය, තඹගල්ලෑල්ල ආරණ්‍ය සේනාසනය, නාරන්දෙණිය ඊරියතොට ආරණ්‍ය සේනාසනය යන ස්ථානවල භාවනා වඩමින් ධුතාංගධාරීව කල් ගෙවූහ. උන්වහන්සේ අනුමාත්‍ර ශික්‍ෂාපද පිළිබඳ ව පවා ඉතා සැළකිල්ලෙන් ක්‍රියා කර ඇති බව පෙනේ.තවද උන්වහන්සේ ධුතාංගධාරී යතිවරයෙක් හැටියට ද සම්භාවනාවට පාත්‍ර වූහ.

ස්‍යාම නිකායික උල්පතගම බුද්ධරක්ඛිත නාහිමියන් ආචාර්යය කොට 1844 දී පැවිදි භූමියට පත් වැලිගමුවේ අත්ථදස්සි හිමියෝ 1847 දී මල්වතු මහා විහාරයෙන් උපසම්පදාව ලබා තුම්පනේ කැන්දගහමඩිත්ත ආරණ්‍යය, ගල්ලැන්ගොල්ල ආරණ්‍යය, ලුණුකැටියාමඩිත්ත ආරණ්‍යය, කොස්සවකන්ද ආරණ්‍යය, සතර කොරළේ අළුලෙන ආරණ්‍යය, දුම්බර ගව්ඇළේ ආරණ්‍යය ආදී ස්ථානවල භාවනානුයෝගීව වැඩ විසූහ. සංවිධානාත්මක වැඩපිළිවෙලක් නැතිව එහෙත් වන සෙනසුන්වල යෝග භාවනා වඩමින් සිටි මුන්වහන්සේට ශිෂ්‍යයෝ බොහෝ වූහ. ගල්ලැන්ගොල්ලේ වනවාස සමාගම නමින් ප්‍රසිද්ධියට පත් මේ භික්‍ෂු පිරිස සත් කෝරළය, සතර කෝරළය, තුම්පනේ, උඩු නුවර, යටි නුවර, දුම්බර හා අනුරාධපුර යන ප්‍රදේශයන්හි ව්‍යාප්තව වනගතව භාවනා වැඩූහ.මේ පිරිස අභිනවයෙන් ඇති වූ රාමඤ්ඤ නිකායට ඇතුළත් වීම 1867 පොසොන් පොහේ දින ගම්පොල මහවැලි නදී උදකුක්ඛේප සීමාවේදී සිදු කළ උපසම්පදා විනය කර්මයේ දී සිදු විය. එදින වැලගමුවේ අත්ථදස්සි හිමියෝ දළ්හීකර්මෝපසම්පදාව ලැබූ අතර උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිස පහළොස් දෙනෙක් පමණ අභිනවයෙන් උපසම්පදා භූමියට පත්වූහ.

අනුරාධපුර හුරුලු පළාතේ හඳගල වනවාසයේ සිටි ස්‍යාම නිකායික පුලියම්කුලමේ දීපංකර, වඳුරැස්සේ රතනජෝති හා රේවත යන හිමිවරු ද නැවත උපසම්පදාව ලබා මේ අභිනව භික්‍ෂු වංශයට ඇතුලත් වූහ. සත් කෝරළයේ නාකැළේ ආරණ්‍ය සේනාසනයේ විසූ ස්‍යාම නිකායික මණ්ඩාපොල රතනපාල, කැකුණවල ධම්මරක්ඛිත යන භික්‍ෂූන් ද සිය උපසම්පදා ව්‍යවහාරය අතහැර නැවත රාමඤ්ඤ නිකායෙන් උපසම්පදාව ලබා ගත් අතර ඒ හේතුවෙන් සත් කෝරළයේ අභිනව ආරණ්‍ය සේනාසන කිහිපයක් ද ඇති විය.මෙසේ ආරම්භක යුගයේ රාමඤ්ඤ නිකාය මුළුමුනින්ම පාහේ ක්‍රියාත්මක වූයේ වනවාසී භික්‍ෂු සම්ප්‍රදායක් හැටියට ය. ඒනිසා බොහෝ දෙනා එකල මේ භික්‍ෂු වංශය හැඳින්වූයේ වනවාසී සමාගම යනුවෙනි.

දෙල්දූව කේන්ද්‍රකොටගත් ආරණ්‍යක සම්ප්‍රදාය

කෙසේ වෙතත් පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය ධුතාංගධාරී රංසෑගොඩ සුමන හිමියෝ දිවි හිමියෙන්ම ආරණ්‍යවාසී වූහ. ශ්‍රී ලංකාවේ නුවර යුගයේ ශාසන පරිහානියෙන් පසු නැවත පැහැදිළි ආරණ්‍යක භික්‍ෂු සංස්ථාවක් ඇති වන්නේ පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද හිමියන් හා තත් ශිෂ්‍ය රංසෑගොඩ සුමන ස්වාමීන් වහන්සේගෙනි. මීට පෙර ශ්‍යාම නිකායික ඇතැම් භික්‍ෂූන් වනවාසීව සිටි නමුත් එය දිගටම පවත්වාගෙන යාම සඳහා උන්වහන්සේලා අතර නිසි සංවිධානයක් නොපැවතුනි. එසේ ම එකී වනවාසී භික්‍ෂූන් වහන්සේලාගෙන් බොහෝ දෙනෙක් රාමඤ්ඤ නිකායට ඇතුළත් වූහ. නමුත් පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද හිමියන්ගෙන් හා රංසෑගොඩ සුමන හිමියන්ගෙන් ඇරඹි ආරණ්‍යයක භික්‍ෂු පරම්පරාව අඛණ්ඩව දෙල්දූව කේන්ද්‍ර කොටගෙන අප්‍රකටව ආරණ්‍ය සේනාසනවල වැඩ සිටියහ. සුමන මාහිමිපාණන්ගෙන් පසු ධුතංගධාරී හැරමල්ගොඩ සීලාලංකාර, ධුතංගධාරී මගලේගොඩ මේධානන්ද, කැකුණේවෙල ඉන්දගුත්ත හා ධුතංගධාරී පිළිකොත්තුවේ ඤාණවිලාස යන හිමිවරු ස්වකීය ශිෂ්‍ය පිරිස සමඟ මේ ආරණ්‍යක ප්‍රතිපදාව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන ගියහ. උන්වහන්සේලාට ස්වාධීනව උපසම්පදා විනය කර්මය සිදු කර ගැනීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් අවකාශ සළසා දී ඇති අතර රජයේ භික්‍ෂු ලියාපදිංචි කටයුතු සියල්ල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ යටතේ ම සිදු වේ.  වර්තමානයේ මේ සඟ පිරිසේ නායකත්වය රාජකීය පණ්ඩිත, කිරින්දේ චන්දසුමන හිමියෝ උසුලති. පිරිවෙන් අධ්‍යාපනය නොලබා ආරණ්‍ය සේනාසනය තුළදී ආරණ්‍යක සම්ප්‍රදායට අනුව ආරණ්‍යවාසී භික්‍ෂූහු සාමණේරාදීන්ට ඉගැන්වීමෙහි නිරතව සිටිති. දෙල්දූව කේන්ද්‍ර කොටගත් ආරණ්‍ය සේනාසන හා යෝගාශ්‍රම 10 ක් පමණ දැනට ක්‍රියාත්මක වේ. අවුරුදු 150කට වඩා ඈත ඉතිහාසයක් කරා දිව යන ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන පැරණිතම ආරණ්‍ය සේනාසන පද්ධතිය ලෙස මෙය හැඳින්විය හැක. එහෙත් මෙම ආයතන පද්ධතිය ලංකාවේ එතරම් ප්‍රසිද්ධිකයකට පත් වී නැත.

ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව

1951 ජූනි 18 වන දිනයෝගාංකුර කුල දරුවන් ප්‍රවෘජා භූමියට පත් කිරීමෙන්ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථා නමින් අභිනව ආරණ්‍යක භික්‍ෂු සංවිධානයක් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ඇති වීම විශේෂ සිද්ධියකි. රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ජිනවංශ නාහිමියන්ගේ හා රාජකීය පණ්ඩිත මාතර ඤාණාරාම නාහිමියන්ගේ නායකත්වය හා මාර්ගෝපදේශකත්වය යටතේ මෙම වැඩපිළිවෙල ආරම්භ වී ඇත. ප්‍රතිපත්ති ශාසනය නගා සිටුවීමේ දෘඪතර අදහසින් මේ මහා යතිවරු දෙදෙන එක් වී අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන ගියහ. මුන්වහන්සේලා දෙනමගේ මාර්ගෝපදේශකත්වය හා නායකත්වය මෙහි දියුණුවට බෙහෙවින් ආදාළ විය.

මේ වන විට ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව සතු ආරණ්‍ය සේනාසන, යෝගාශ්‍රම, භාවනා මධ්‍යස්ථාන සංඛ්‍යාව 200කට ආසන්න ය. සඟ පිරිස දහස ඉක්මවා සිටී. මේ සියලු දෙනා වහන්සේම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ යටතේ රජයේ භික්‍ෂු ලියාපදිංචි ආදී කටයුතු සිදුකර ගනිති.

රාමඤ්ඤ නිකාය අනුබද්ධ සෙසු ආරණ්‍යක සම්ප්‍රදායයන්

රාමඤ්ඤ මහා නිකායේ පැරණි ස්වාධීන ආරණ්‍ය සමූහයට හෝ ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවට අයත් නොවන, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රධාන උපසම්පදා විනය කර්මයේ දී ස්වකීය ශිෂ්‍යයන් උපසම්පදා කරගන්නා තවත් ආරණ්‍ය සේනාසන කිහිපයක් ඇත. අම්පාරේ බුද්ධංගල ආරණ්‍ය සේනාසනය, කෑගල්ලේ, දේවාලේගම පහන්කණුව ආරණ්‍ය සේනාසනය, අම්පාරේ සමංගල ආරණ්‍ය සේනාසනය ආදිය උදාහරණ ලෙස දැක්විය හැකිය.

 සැකසුම

පූජ්‍ය අක්මීමන ධම්මපාල මහා ස්ථවිරයන්ගේ ලිපියක් ඇසුරිනි