රාමඤ්ඤ මහා නිකාය අනුබද්ධ ත්‍රිපිටක ධර්මායතනය

ශ්‍රී ලාංකේය භික්ෂූන් වෙත ශුද්ධ මාගධී (පාළි) භාෂා ඤාණයද සමගින් ත්‍රිපිටක අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් පිහිටුවන ලද භික්ෂු පුහුණු ආයතනයක් වේ. පෙළ, අර්ථකථා, ටීකා ඇසුරෙන් පෞරාණික ආරාමික අධ්‍යයන ක්‍රමවේදය අනුව යමින් ත්‍රිපිටක බුද්ධවචනය ඉගැන්වීම කෙරෙන්නාවූද, මාගධී භාෂාව ඇතුළුව වෙනත් භාෂා ශාස්ත්‍රඥාණය ලබාදෙන්නා වූද, භික්ෂු ආකල්ප සංවර්ධනය, භික්ෂු විනයකර්ම ප්‍රායෝගික පුහුණුව සහ කලින් කළ පවත්වනු ලබන පරීක්ෂණයන්හි ප්‍රතිඵල අනුව පස් අවුරුදු අධ්‍යයන කාලසීමා අවසානයේ ‘ත්‍රිපිටක ධර්මවේදී’ යන ශාසනික සම්මානය ද ප්‍රදානය කෙරෙන අධ්‍යයන ආයතනයක් වේ. භික්ෂුවක් වශයෙන් හදාළ යුතු ධර්මය හා විනය ද, ධර්මදූත පුහුණුව හා භාෂා ශාස්ත්‍ර ඥානය ද මෙහිදී ලබා දෙනු ඇත.

මෙම ආයතනයෙන් සැලසෙන සමාජ ප්‍රතිලාභය

මෙබදු ආයතනයක් ශාසන චිරස්ථිතියට හේතු වන්නක් බව මෙහි පසුබිම සලකා බැලීමෙන් ඉතා මැනවින් පැහැදිලි වේ. වර්තමාන භික්ෂු අධ්‍යාපන ආයතන ගිහි අධ්‍යාපනය හා සමපාත බන බැවින් භික්ෂු සමාජය අතිශය දුර්වල වී ඇත. භික්ෂූන් වහන්සේට අවශ්‍ය භික්ෂු පුහුණුව නිසි ආකාරයට නොලැබෙන හෙයින් මෙන්ම භික්ෂුත්වයෙහි රදා පැවැත්මට අදාළ ධර්ම රසයද නොලැබෙන හෙයින් සසර විමුක්තිය පිණිස පැවිදි වන්නෝ පැවිද්දේ මිහිරක් නොලබාම උපැවිදි වෙති. භික්ෂු සමාජයට කලකිරී උපැවිදි වන්නේ ධර්මය විනය පිළිබද නිසි අවබෝධයක් ලබාදීමේ වැඩ පිළිවෙලක් නොමැති හෙයිනි. ධර්ම විනය අධ්‍යාපනය නොලද පුද්ගලයා ගිහි-පැවිදි වෙනස හදුනා නොගනී. ඔහු සිතන්නේ වෙනස ගිහි ඇදුමත්, පැවිදි ඇදුමත් පමණක් යනුවෙනි. ඒ තරමටම ධර්මාධ්‍යාපනයෙන් ඉවත් වූවකු වර්තමාන භික්ෂු අධ්‍යාපනයෙන් බිහි වන බැවිනි.

වර්තමානයේ ශික්ෂාකාමීන්ට, ලජ්ජී භික්ෂූන්ට භික්ෂු අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලැබිය නොහැකිය. එහි ශික්ෂා ගරුත්වයක් නොමැති හෙයින් ශීලය, ශික්ෂාව අවතක්සේරුවට ලක් කරන හෙයිනි. ශීලය, ශික්ෂාව, විනය, ධර්මය පිළිබද කථා කරන අය කුහකයන්, ප්‍රතිගාමීන්, පසුගාමීන් ලෙස ද සම්ප්‍රදාය බිදිමින්, විවේචනය කරමින්, ධර්මයද කාලය අනුව වෙනස් කළයුතු යැයි කියමින් ශීලයට ගුණයට ගරහමින් කටයුතු කරන අය ප්‍රගතිශීලීන්ථ නවීනත්වය අගයන්නන්, අභිවෘද්ධිකාමීන් ලෙස ද හුවා දක්වන හෙයිනි. එහෙයින් ලජ්ජී, ශික්ෂාකාමී, ප්‍රතිපත්තිකාමී භික්ෂූන් වහන්සේට ධර්ම විනය හැදෑරීමට සහ ප්‍රායෝගික විනයකර්ම, භාවනා පුහුණුව සදහා පවත්නා ආයතනයක් ලෙස මෙම ත්‍රිපිටක ධර්මායතනය හැදින්විය හැකි වේ.

පරමාර්ථ

  • ධර්ම විනය දත් භාෂා ශාස්ත්‍ර ඥානයෙන් පිරිපුන් ධර්මය ප්‍රායෝගික කරණයෙහි යෙදුණු භාවිතයෙහි යෙදුණු භාවනා පිළිබද පුහුණුව ලත් භික්ෂු පිරිසක් ඇති කිරීම
  • ප්‍රායෝගික විනය කර්මයන්හි හා ධර්ම දූත කාර්යයෙහි පුහුණුව ලත් ආදර්ශවත්, යථාවාදී-තථාකාරී ලෙස ධර්මය බෙදා දෙන ධර්ම දූතයන් බිහි කිරීම

අධ්‍යයන වැඩසටහන හා කාලය

මෙම අධ්‍යයන වැඩසටහන නේවාසික, බාහිර වශයෙන් දෙයාකාර වේ. එහිලා බාහිර පාඨමාලාව සදහා අධ්‍යයන කටයුතු දැනටමත් ආරම්භව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය මූලස්ථානයේ සෙනසුරාදා-ඉරිදා දිනවල පැවැත්වේ. නේවාසික පාඨමාලාව නුදුරු අනාගතයේ ආරම්භ වීමට නියමිතය. නේවාසික පාඨමාලාව පස් අවුරුදු අධ්‍යයන කාලයක් සදහා වේ.

ප්‍රවේශ පරීක්ෂණය

මෙම ආයතනයේ අධ්‍යයනය සදහා ඇතුළත් වන භික්ෂූන් සදහා ආයතනය විසින් පවත්වනු ලබන ප්‍රවේශ පරීක්ෂණයකට ඉදිරිපත් විය යුතු වේ.

ත්‍රිපිටක අධ්‍යාපන මණ්ඩලය

මහාචාර්ය, අතිපූජ්‍ය, වරාගොඩ පෙමරතන අනුනාහිමි (සභාපති)

මහාචාර්ය, කෝන්ගස්තැන්නේ ආනන්ද නාහිමි

මහාචාර්ය අත්තංගනේ රතනපාල නාහිමි (ලේකම්)

දර්ශනපති, වරකවැහැර ධම්මපාල නාහිමි

අත්තංගනේ ශාසනරතන නාහිමි

දීවෙල මහින්ද නාහිමි

පල්ලේකාගම රතනභාරති නාහිමි

පොතානේ ධම්මානන්ද නාහිමි

හාල්පන්විල පාලිත නාහිමි