ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය කතිකාවත
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායික භික්ෂුන් වහන්සේලාගේ මනා පැවැත්මට හා පහසු විහරණයට හේතුවන ලෙස 1871 වර්ෂයේ සිට මුලික කතිකාවතක් සම්මත කරගෙන පවත්වාගෙන ගියහ. මෙය රාමඤ්ඤ මහා නිකායේ පරිපාලන ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය නිරූපනය වන මුල්ම ලේඛනය ලෙස හැඳින්විය හැකිය. මෙයට 1925 දී අතිරේකයක් ද එකතු කර ආරම්භක කතිකාවත ලෙස ප්‍රකාශයට පත්විය.
නිකායේ පාලනය හා සම්බන්ධ විධිවිධාන ඇතුළත් කර සවිස්තරාත්මක කතිකාවතක් 1945 දී අනුමත කර එය 1950 දී “ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ පාලක සංඝ සභා ව්‍යවස්ථා සංග්‍රහය” ලෙස ප්‍රකාශයට පත්විය.
එයට 1964 දී සංශෝධන සිදුකර “ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය පාලන ව්‍යවස්ථා සංග්‍රහය” ලෙස වර්ෂ 1973 දී එළි දැක්විණ.
එය පදනම් කරගෙන 1982 දී සිදුකළ කාරක සභා තීරණයකට අනුව වඩාත් විධිමත් කතිකාවතක් වර්ෂ 1989 දී “ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය කතිකාවත” ලෙස ප්‍රකාශයට පත් විය. වර්තමානයේ නිකායේ පරිපාලන ව්‍යුහය සැකසීමේදී බොහෝ දුරට උපයෝගි කරගෙන ඇති 1989 වර්ෂයේදී ප්‍රකාශයට පත් කතිකාවතට 1996 වර්ෂයේදී සංශෝධන එකතු කර 2001 වසර දක්වා ක්‍රියාත්මක වු නමුත් එය මුද්‍රණ ද්වාරයෙන් ප්‍රකාශයට පත් නොවීය.
වර්ෂ 2000 දී එතෙක් 2001 දක්වා ක්‍රියාත්මක කතිකාවත සංශෝධනය සඳහා අනුකාරක සභාවක් පත් කරන ලද අතර එම සංශෝධන වලට අනුව 2003 මාර්තු මස 15 දින සිට ක්‍රියාත්මක “ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය කතිකාවත” සැකසින.
වර්තමානයේ නිකායේ පරිපාලනය ක්‍රියාත්මක වන්නේ 2011 වර්ෂයේදී පත් කරන ලද කතිකාවත් සංශෝධන අනුකාරක සභාවකින් 2003 සිට ක්‍රියාත්මක කතිකාවත සංශෝධනය කර සම්පාදිත බු.ව.2557/ව්‍ය.ව.2014 මාර්තු 21 දින සිට ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය කතිකාවතට අනුවය. එය ඉහත සඳහන් දින සිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වර්තමාන මහා නායක අතිපුජ්‍ය නාපාන පේමසිරි මාහිමියන් අත්සන් තබා සහතික කරනු ලැබ ක්‍රියාත්මක වේ. මෙම ලිපියෙන් ඉදිරිපත් කරනු ලබන්නේ 2014 වර්ෂයේ සිට ක්‍රියාත්මක කතිකාවතට අනුව නිකාය පරිපාලන ව්‍යුහය සැකසි ඇති අයුරු ය.
වර්ෂ 2015 සංගණන වාර්තා අනුව 2089 කට අධික විහාරස්ථාන හා සෙනසුන් ද මුලික පිරිවෙන් 110 ක් ද මහ පිරිවෙන් 49 ක් ද විද්‍යායතන පිරිවෙන් 05 ක් ද සාමනේර ආයතනයක් ද වන අතර ඒවායෙහි වැඩ වසන උපසම්පදා හා සාමණේර භික්ෂුන් වහන්සේ 7900 කට අධික සංඛ්‍යාවකගේ මනා පැවැත්ම හා පරිපාලනය සැකසී ඇත්තේ ඉහත සඳහන් කතිකාවත අනුවය.
මෙම කතිකාවතේ පරිච්ඡේද 14 කි.
- පළමු පරිච්ඡදේය- මුලික කරුණු යන මාතෘකාව යටතේ කතිකාවත සම්බන්ධ නාමය -එහි අරමුණු හා වචනාර්ථ විවරණය, විග්‍රහ කෙරේ.
- දෙවන පරිච්ඡේදය- පබ්බජ්ජෝප සම්පදා යන හැඳින්වීම යටතේ වෙන් වන්නේ පැවිදිවීමට හා උපසම්පදාවට අදාළ යෝග්‍යතා- පැවිදි කිරීමේ සහ උපසම්පදා කිරීමේ යෙදෙන ආචාර්ය භික්ෂුන්ගේ යෝග්‍යතාත් අදාළ ලියාපදිංචි කිරීම් සහතික පත්‍ර ලබා ගැනීම් ආචාර්යවරුන් යටතේ නිසි සමාදන්වීම් ආදී ශික්ෂණය ලැබීම්- උපසම්පදාවට අදාළ පොදු විධිවාධාන උපාධ්‍යය-කර්මාචාර්ය-ගුණපූරක යෝග්‍යතා ආදි තොරතුරු දැක්වීමය.
- තෙවන පරිච්ඡේදය- තුළ අන්තර්ගතව ඇත්තේ විනය පිටකාගත ග්‍රන්ථ ඇසුරෙන් සැකසුන මුලික බෞද්ධ භික්ෂු ප්‍රතිපදාවේත් රාමඤ්ඤ නිකායට ආවේණික යැයි පිළිගැනෙන සාම්ප්‍රදායික ප්‍රතිපදාවේත් සංකලයෙන් සැකසුන සාමනය භික්ෂු ප්‍රතිපත්තියයි. මෙහි ඇතුළත් විශේෂ වගන්තියක් ලෙස ඉතා වැදගත් වන්නේ “රාමඤ්ඤ නිකායික භික්ෂුන් දේශපාලන පක්ෂයක හෝ ආයතනයක සාමාජිකයෙකු නොවිය යුතු බවත්, අපේක්ෂයෙකු ලෙස ඉදිරිපත් නොවිය යුතු බවත්ය” යන්නයි.
- සතර වන පරච්ඡේදය- විහාරාධිපති පදවි හා විහාර සන්තක දේපළ පාලනය හා විහාරාධිපති පදිවිය සම්බන්ධව සංඝාධිකරණ බලය යන කරුණු විග්‍රහ කෙරේ.
- පස්වන පරිච්ඡේදය- සඳහන් වන්නේ ප්‍රාදේශිය සංඝ සභා සම්බන්ධවය. ප්‍රාදේශිය සංඝ සභා පිහිටුවවීම, එහිදී අවශ්‍ය වන මුලික අංග – සංඝ සභා සාමාජිකත්වය, රැස්වීම් පැවැත්වීම, සංඝ සභාවලට අයත් කටයුතු ආදිය මෙහිදී පැහැදිලි කෙරේ.
- හයවන පරිච්ඡේදය-පාලක සංඝ සභාව හඳුන්වා ඇත. පාලක සංඝ සභාව සතු බලතල එහි සාමාජිකත්වයට සුදුසුකම් හා නුසුදුසුකම් – පාලක සංඝ සභිකයන් තෝරා ගනු ලබන තේරීම් භාර නිලධාරී මණ්ඩලය – එම මණ්ඩලයේ කාර්යයන් – තෝරා ගැනීම් හා අනුමත කිරීම් – යාවජීවික ගරු සාමාජිකයන් වහන්සේලා – ගරු සාමාජිකයන් වහන්සේලා – ප්‍රධාන අධිකාරීන් වහන්සේලා – උන්වහන්සේලා පාලක/කාරක සංඝ සභාවට සම්බන්ධ වන ආකාරය – පාලක සංඝ සභාව අභිනවයෙන් පිහිටුවීම – පාලක සභිකයන් අතුරෙන් කාරක සභිකයන් තෝරා ගැනීම – ප්‍රධාන අධිකාරීන් වහන්සේලා හා නිලධාරීන් වහන්සේලා පත්වීම- අධිකාරි පත්‍ර හා නියුක්ති පත්‍ර ප්‍රදානය – පාලක සංඝ සභාවට අයත් කටයුතු හා කතිකාවත සංශෝධනය හෝ අවලංගු කිරීම සම්බන්ධ ක්‍රියා පටිපාටියද මෙම පරිච්ඡේදයෙන් විග්‍රහ කෙරේ.
- හත්වන පරිච්ඡේදයෙහි දැක්වෙන්නේ කාරක සංඝ සභාව හා විශේෂාධිකාරි මණ්ඩලය පිළිබඳවත් ඒවා සතු බලතල කාරක සභා ක්‍රියා පටිපාටිය හා කාරක සංඝ සභාව හා විශේෂාධිකාරි මණ්ඩලය සතු කටයුතු පිළිබඳවයි.
- අටවන පරිච්ඡේදය- සංවද්ධන සභා යනුවෙන් නම් කර ඇත. එහිදී පරියත්ති, පටිපත්ති, නිකාය, සමාජ යන සංවර්ධන සභා හතර පිළිබඳවත් ඒවායේ කාර්යභාර්යයන් පිළිබඳවත් සඳහන් කෙරේ.
- නව වන පරිච්ඡේදය – යෝග්‍යතා සමන්නේසන සභාව නමින් හැඳින්වේ. මෙම සභාවේ සාමාජික සංඛ්‍යාව 07 ක් වන අතර නිකායේ විවිධ නිලතලවලට හා සම්මාන උපාධි ආදියට ඉදිරිපත් වන නාම යෝජනා පරීක්ෂාකර බලා සුදුසු අය විශේෂාධිකාරි මණ්ඩලයට නිර්දේශ කිරීම මෙම සභාවෙන් සිදු කෙරේ. එම සභාවට අයත් කටයුතු හා මහෝගධ්‍යාය පදවි හා සම්මාන උපාධි සම්මුති පිරිනැමීම් ඒ සඳහා යෝග්‍යතා ආදිය මෙහිදී විග්‍රහ කෙරේ.
- දස වන පරිච්ඡේදය- රැස්වීම් පැවැත්වීම හා යෝජනා හා සාකච්ඡා පිළිබඳව සඳහන් වේ. පාලක කාරක – විශේෂාධිකාරි මණ්ඩල රැස්වීම් පැවැත්වීම – මුලාසනය – යෝජනා ඉදිරිපත් කිරීම හා සාකච්ඡා කිරීමෙහි පිළිවෙත – ගණ පූරණය – කාර්යයන් පිළිබඳව තීරණ – සාමාජිකත්වය අවලංගු වීම හා පාලක කාරක සභාවල කාලසීමාව, මෙහිදී පැහැදිලි කෙරේ.
- එකළොස්වන පරිච්ඡේදය – වෙන් වන්නේ ප්‍රධාන අධිකාරි පදවි හා නිලධාරීන් වහන්සේලා හා පළාත් සංඝ නායකයන් වහන්සේලා පිළිබඳ කතිකාවන් වෙනුවෙන්ය. මහානායක පදවියට පත්වීමේදී තිබිය යුතු පළපුරුද්ද හා වෙනත් සුදුසුකම් ද මහානායක හිමියන් සතු කටයුතු ද විශේෂ විධානයන් සඳහා වු උන්වහන්සේ සතු බලතල ද අනුනායක පදවි හා උන්වහන්සේලාට අයත් කටයුතු ද අධිකරණ නායක පදවිය හා උන්වහන්සේලාට අයත් කටයුතු ද පළාත් සංඝ නායක පදවි හා උන්වහන්සේට අයත් කටයුතු ද මහා ලේඛකාධිකාරි – අධිකරණ ලේඛකාධිකාරි – සංවර්ධන සභා ලේඛකාදිකාරීන් වහන්සේලා – නියෝජ්‍ය ලේඛකාධිකාරීන් වහන්සේලා පිළිබඳව ද එම නිලධාරින්ට අයත් කටයුතු පිළිබඳව ද පදවි නාම ව්‍යවහාරය – කාර්යයන් ඉටුකිරීමේ බලය තනතුරු පිළිබඳ කාල නියමය – තනතුරුවලින් ඉවත්වීම හා පුරප්පාඩු පිරවීම මෙම පරිච්ඡේදයේ අන්තර්ගත වේ.
- දොළොස් වන පරිච්ඡේදය වෙන් වන්නේ දිසාපාලක – අනුවිජ්ජක ධුර හා කාර්ය සංවිධානයක් සඳහාය. දිසාපාලක හා අනුවිජ්ජක ධුරවලට අයත් කටයුතු ද ප්‍රාදේශීය අධිකරණ එම අධිකරණ මණ්ඩල හා එයට අයත් කටයුතු – ජ්‍යෙෂ්ඨාධිකරණය එම අධිකරණ සභාව හා ඒවාට අයත් කටයුතු – උපරිමාධිකරණය – උපරිමනුවිජ්ජක සභාව හා උපරිමානුච්ජ්ජක මණ්ඩලය හා එයට අයත් කටයුතු ඒ ඒ අධිකරණ සතු බලයද චෝදනා ඉදිරිපත් කිරීමේදී චෝදකයන් විසිනුත් එවා ලැබීමෙන් පසු අධිකරණය විසිනුත් අනුගමනය කළ යුතු ක්‍රියාවලියද – කැදවීමේ ආඥා – විනිශ්චය සහායකවරුන් – අභියාචනාධිකරණය (උක්කෝටිත අධිකරණය) හා දඬුවම් නියම කිරීමද යන කරුණු විස්තර වේ.
- තෙළෙස්වන වන පරිච්ඡේදය – මෙය නිකායාරක්ෂක සභාව යනුවෙන් හඳුන්වා ඇත. නිකායරක්ෂක සභාව හා එයට අයත් කටයුතු නිකායේ මහා සංඝ මුලස්ථානය හා නිකායේ ත්‍රිපිටක අධ්‍යාපන ආයතනය ගැන කරුණු මෙහි අන්තර්ගත වේ.
- තුදුස්වන පරිච්ඡේදය :- ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය අනුබද්ධ ආරණ්‍ය සේනාසන හා යෝගාශ්‍රම පිළිබඳව ද එම උපසම්පදා ලියාපදිංචිකිරීම් – සංගණන වාර්තා තැබිමි. එම ආයතන වලට ග්‍රාම වාසී භික්ෂූන් ඇතුළත් කිරීම හා ඉවත් කිරීම් – මෙම කතිකාවත් ආදිය පිළිබඳ කරුණු අන්තර්ගත වේ.
මීට අමතරව මෙම කතිකාවතෙහි උපග්‍රන්ථයේ මෙම කතිකාවත මුද්‍රණය වන විට පිහිටුවා තිබූ ප්‍රාදේශීය සංඝ සභා කොට්ඨාශ 47 හි නාම ලේඛණය ද – ආරණ්‍ය සේනාසන හා යෝගාශ්‍රම නාම ලේඛණය ද – ප්‍රාදේශික සංඝ සභා ව්‍යවස්ථාව – නිකායාරක්ෂක සභා ව්‍යවස්ථාව ද මහෝපාධ්‍යාය පදවි – සම්මාන උපාධි පදවි – විහාරාධිපති සම්මුති පත්‍ර ඉල්ලීමේදී ඉදිරිපත් කළ යුතු ප්‍රකාශ පත්‍ර ද – ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මූලික කතිකාවත ද ඇතුලත් කර ඇත.