ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය – 71 වෙනි ගරු උපසම්පදා පුණ්‍ය මහෝත්සවය
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය – 71 වෙනි ගරු උපසම්පදා පුණ්‍ය මහෝත්සවය 2018 ජුලි මස 19 වන දින පටන් ජුලි මස 26 දක්වා අම්පාර ගල්ඔය ගාල්හ නදී උදකුක්ෂේප සීමාවේදී පැවැත්වේ. මෙවර අධිශීල සංඛ්‍යාත ගරු උපසම්පදාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දිවයිනපුරා විහාරස්ථාන වලින් සාමණේර හිමි වරුන් 400ක් පමණ සහභාගි වීමට නියමිතය.
සමාරම්භක උළෙල 2018 ජුලි මස 19 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක පූජනීය නාපාන පේමසිරි අභිධාන මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය උත්සවයක් ලෙස පැවැත්වේ.
ශ්‍රී.බු.ව. 2406 දී අතිගරු අඹගහවත්තේ සාසනවංස කවිධජ සිරි සද්ධම්මචරිය යති සංඝපති ඉන්දාසභවරඤාණසාමි මහානායක මාහිමියන්ගේ ආදි කර්‍තෘත්වයෙන් “ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය” ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. අනතුරුව ශ්‍රී බු.ව. 2407 වැන්නෙහි ඇසළ මස අව තුදුස්වක හෙවත් ව්‍යවහාර වර්ෂ 1863 ජූලි 13 සඳු දින ගාල්ල ගිංගඟ මහමෝදර, උදකුක්ඛේප සීමා මාලකයේදී සුපූජනීය වරාපිටියේ සුමිත්ත මාහිමිපාණන් වහන්සේ උපාධ්‍ය ධූරයෙහි තබා විදර්ශනාචාර්ය අතිපූජ්‍ය පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද මාහිමියන් වහන්සේගේද උපස්ථම්භකත්වය ඇතිව සිදු කළ ප්‍රථම ගරු උපසම්පදා විනය කර්මයෙන් ශ්‍රී ලංකේය භික්ෂු ශාසනයෙහි සුපිරිසිදු ථෙරවාදී උපසම්පදාව යළිත් වරක් පිහිටුවන ලදී. එතැන් පටන් ගතවූ යෙළ සියවසකට අධික කාලය පුරාවට දෙවසරකට වරක් වාර්ෂික උපසම්පදා විනයකර්ම 70 ක් පමණ පවත්වමින් මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ලක්දිවට දායාද කරන්නට යෙදුණු සුපිරිසිදු බුදු සසුන චිරාත් කාලයක් පවත්වාගෙන යනු සමර්ථ සුපේශල ශික්ෂාකාමී උපසපන් භික්ෂූන් දහස් ගණනක් ලක් ධරණී තලයට දායාද කළාය. අතිපූජ්‍ය මහනායක හිමිවරුන් 13 නමකගේ නායකත්වය යටතේ සමස්ථ ශ්‍රී ලාංකේය ප්‍රජාවට අත්‍යුදාර ශාසනික සේවාවක් ඉටු කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය යටතේ විහාරස්ථාන 1750 ක් පමණ ඇති අතර ආරණ්‍යක සම්ප්‍රදායයන් ලෙස දෙල්දූව ආරණ්‍යය සහ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව අනුබද්ධ සෙනසුන් 236 ක් පමණ පවතී.
ධර්මධර, විනයධර, ප්‍රතිපත්ති ගරුක භික්ෂූන්ට නිති සෙවනක් වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය ථෙරවාදී මහාවිහාරීය ශාසන සම්ප්‍රදාය අනාගතය උදෙසා සුරක්ෂිත කරලන උත්තරීතර සංඝ සංස්ථාව වේ. මෙම වර්ෂයේත් අධි ශීල සංඛ්‍යාත උපසපන් බවට පත් වන උපසම්පදාපේක්ෂක සාමණේර හිමි වරුන් හට ස්වකීය සසුන් දිවිය ශීල ගුණයෙන් සරු කරගෙන සමාධි-ප්‍රඥා ගුණ දියුණු කරගෙන, පරියත්ති-ප්‍රතිපත්ති-ප්‍රතිවේද යන ත්‍රිවිධ ශාසනයේ සසුන් මිහිර විඳගැන්මට සුභාසිංශන!
චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං!