ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ එකොලොස්වන මහානායක පදවියට පත් අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත ත්‍රිපිටක වාචිස්සරාචරිය ශාසන ශෝභන සිරි සරණඞකරවංසාවතංස ප්‍රවචන විශාරද පොත්තේවෙල පඤ්ඤාසාරාභිධාන මහානායක මාහිමියන් වහන්සේ(1986-1997)ගේ අපවත් වූ දිනය අද(දෙසැ:29)යි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ එකොළොස් වන මහානායක පදවියට පත් අතිපූජ්‍ය පොත්තේවෙල පඤ්ඤාසාර මහානායක මාහිමිපාණන්ගේ ජාතභූමිය වූයේ දක්ෂිණ ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුවේ බෙලිඅත්තේ තාරපේරිය නම් ග්‍රාමවරයයි. දෝන සිසිලියානා උබේසේකර හාමිනේ සහ ගම්පති ටී.එන්. දොන් කොරනේරිස තාරපේරිය රාළහාමී උන්වහන්සේගේ මවුපියෝ වූහ. උන්වහන්සේ මෙලොවට බිහි වී ඇත්තේ ක්‍රි.ව. 1915 වර්ෂයේ ඔක්තෝම්බර් 23 වෙනිදාය.
නිහිළුව රජයේ පාසල ආශ්‍රයෙන් මූලික අධ්‍යාපනය ලබා ඕබඩකන්දේ සිරිසරණඞකර මාහිමියන්ගෙන් භාෂා ශාස්ත්‍ර බණදහම් ප්‍රගුණ කර ක්‍රි.ව.1928 ජූලි මස 02 වන දින පොත්තේවෙල පඤ්ඤාසාර නමින් පැවිදි වූහ. මාතර සිරිඤාණින්දාසභ නාහිමි උපාධ්‍යායන් වහන්සේ ලෙස ද ඕබඩකන්දේ සිරි සරණඞකර මාහිමියන් ආචාර්යන් ලෙස ද කටයුතු කළහ. උන්වහන්සේලාගේ පා සෙවනේ මූලික බණ දහම් ප්‍රගුණ කර වැඩිදුර අධ්‍යාපනය සඳහා බලගල්ලේ සරස්වතී පිරිවෙනට ඇතුළත් වූහ. එහි දී වර්ගපටිපාටියෙන් ඉහළට අධ්‍යාපනය ලැබූ පොත්තේවෙල හිමිපාණෝ රාජකීය පණ්ඩිත උපාධිය දක්වා ඉගෙන ගනිමින් ධර්ම විනය භාෂා සාහිත්‍ය ආදියෙහි ප්‍රවීණ හිමිනමක් වූහ.
වර්ෂ 1935 දී මාතර ඥානින්දාසභ නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් අධිශීල උපසම්පදාවෙහි පිහිට වූහ. තමන් වහන්සේගේ දැඩි කැපවීම මගින් ම නිකායේ පහළ ම තලයේ සිට ඉහළ ම තලය දක්වා නැගගත් පොත්තේවෙල මාහිමියන් වහන්සේ නිකායේ එකොළොස් වන මහානායක බවට 1986 අගෝස්තු මස 31 වන දින පත් වූහ.
පොත්තේවෙල මහනාහිමියන්ගේ පාලන කාලය තුළ දී නිකායික හා ශාසනික සේවා රැසක් සිදු විය. නිකායික තනතුරුවලට දක්ෂ හිමිවරුන් පත් කිරීම, ගිහි පැවිදි සම්බන්ධය අරුත් බර කිරීමට නිකාය සංවර්ධන සභාවක් පිහිටු වීම. නිකායික පිරිවෙන්හි පරිවෙනාධිපති කෘත්‍යාධිකාරී සංවිධානයක් ඇති කිරීම සඤ්ඤාලේඛකාධිකාරී ධූරයේ කාර්යභාරය පුළුල් කිරීම, පරියත්තිපාලක සභාව පුනරුත්ථාපනය කිරීම, ත්‍රිපිටක විභාගය පැවැත්වීම, කතිකාවත සංශෝධනය කර මුද්‍රණයෙන් නිකුත් කිරීම ආදී කටයුතු රාශියක් ඉටු කළහ.
ශාස්ත්‍රීය සමාජසේවා රැසක් ද උන්වහන්සේ විසින් සිදු කරන ලදී. පොත්තේවෙල ජිනරාජ පිරිවෙන ආරම්භ කිරීම, කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙන ආරම්භ කිරීමට අනුග්‍රහය දැක්වීම, පොත්තේවෙල සරණඞකර විද්‍යාලය ඇරඹීම, පේෂකර්ම මධ්‍යස්ථානය සහ සමිති සමාගම් රාශියක් ආරම්භ කිරීම, මේ සියලු සේවාවන් ගැන සලකා සේවය ඇගයීමත් වශයෙන් පොත්තේවෙල නාහිමියන් මියැන්මාරයේ රජයෙන් පිරිනමන අග්ගමහා පණ්ඩිත ගෞරව උපාධියෙන් පිදුම් ලැබීම විශේෂයකි.
මේසා විශාල සේවයක් සිදු කළ අතිපූජ්‍ය පොත්තේවෙල පඤ්ඤාසාරාභිධාන මහානායක මාහිමියානෝ 1997 වර්ෂයේ දෙසැම්බර් මස 29 වන දින සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය පළ කරමින් අපවත් වී වදාළහ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වෙනුවෙන් අපි සියලු දෙනා උන්වහන්සේට උතුම් නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමු.
මහාචාර්ය පූජ්‍ය ඇකිරියගල නන්ද මහ ස්ථවිරයන් වහන්සේගේ ලිපියක් ඇසුරිනි.
සකස් කළේ: පූජ්‍ය මහව ඤාණාලෝක හිමි