ශ්‍රී ලංකා ශාසනවංශ කවිධජ සිරිසද්ධම්මාචරිය යති සංඝපති අඹගහවත්තේ සරණංකර ඉන්දාසභවර ඤණසාමි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රථම මහානායක මාහිමිපාණන් වහන්සේ (1863-1886)
දක්ෂිණ ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන ග්‍රාමවරයේ අඹගහවත්තේ නිවසෙහි, ගාල්ලේ අක්මීමන උසස් මුදලි පරපුරක් වන මදනායක පෙළපතෙහි දොන් මාතෙස් ද සිල්වා මදනායක රාළහාමි හා ඉදිපල වලව්වගේ ලෙනෝහාමී රත්නායක මැතිණියගේ අතිජාත පුත්‍රරත්නය ලෙස ක්‍රි.ව. 1833 ඉල්මස ඉරුදින උපන් කුමරුවනට කොර්නේලිස් මදනායක යන නාමය තබන ලද්දේය. මහමෝදර විහාරස්ථානයේ විලානේ හිමියන් ලවා අකුරු කියවා ගාල්ලේ තුවක්කුගලවත්තේ පුරාණ විහාරස්ථානයේ අක්මීමන සෝභිත හිමිපාණන්ගෙන් මූලික බණ දහම් ප්‍රගුණ කරනු ලැබූ කොර්නේලිස් මදනායක කුලකුමරුවෝ බු.ව. 2396 නොහොත් ක්‍රි.ව. 1847 ජූනි මස 15 වෙනි දින අඹගහවත්තේ සරණඞකර යන නාමයෙන් උතුම් වූ ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් වූහ.

ඉක්බිති සරණඞකර සාමණේරයන් වහන්සේ බෙන්තොට වනවාස විහාරාධිපතිව වැඩ විසූ ගණාචාර්‍ය්‍ය බෙන්තොට අත්‍ථදස්සී මහාස්ථවිරපාදයාණන් වහන්සේගේ පා සෙවණෙහි ධර්මවිනය ශබ්දශාස්ත්‍රාදිය හදාරා සමීපාවචර ශිෂ්‍යභාවයට පැමිණියහ. විසිවයස් ඉක්මවා සිටි සරණඞකර සාමණේරයෝ බු.ව. 2400 වෙසක් මස පුරපසලොස්වක දින හෙවත් ක්‍රි.ව. 1856 මැයි 15 දින සෙංකඩගල මල්වතු විහාර සීමාමාලකයෙහි දී අධිශීලයට පමුණුවන ලදහ. එකල පැන නැඟුණු යම් යම් මතභේද කරණකොට ගෙන උකටලී බවට පැමිණි සරණඩ්කර හිමියෝ යළිත් සාමණේර වී බු.ව. 2404 (ක්‍රි.ව. 1861) වැන්නෙහි පිරිසකුත් සමඟ ගාලු වරායෙන් නැව් නැගී බුරුම රට බලා පිටත් වූහ. ක්‍රමයෙන් බුරුම රට මණ්ඩලේ නමින් ප්‍රසිද්ධ රතනාපුණ්ණ රාජධානියට පැමිණ එහි රාජ ශ්‍රේෂ්ඨ වූ “සිරිපවර විජයනන්තයස පණ්ඩිත මහා ධම්මරාජාධි රාජ” වූ අනේක සේතිභින්ද මෙණ්ඩුං මහරජතුමාගේ දායකත්වයෙන් හා “ඤෙය්‍යධම්මාභි මුනිවර ඤාණකිත්ති සිරිපවර ධම්මසෙනාපති මහාධම්මරාජාධිරාජගුරු” නාමෝපලක්‍ෂිත සංඝරාජයාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සංඝරාජාරාමස්ත විසුංගාම මහාසීමාවෙහි දී බු.ව. 2405 වැන්නෙහි (1861 ජූනි 12 වන දින) උපසම්පදා භූමියට පැමිණ “ඉන්දාසභවර ඤණසාමි” යන සඟරජහිමියන් විසින් දුන් නාමයෙන් උපලක්ෂිත වුහ. අනතුරුව ඓරාවති නදියේ ඉදිකරන ලද උදකුක්ඛේප සීමාවේදී සඟරජ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් දළ්හීකර්ම කොට පුනර්ශික්‍ෂාවන්හි පිහිටා ආපසු වැඩම කිරීමේ දී රැන්ගුන් නුවර මහා සීමා විහාරයේ කේසරිසීහ සද්ධම්මවර යන හිමිවරුන් හමුවී, සාකච්ඡා කර කළ්‍යාණී සීමාවේ දී බු:ව: 2405 පොසොන් මස අවදියවක දා යළිත් දළ්හී කර්මය ලැබූහ. බුද්ධ වර්ෂ 2406 දී (ක්‍රි.ව. 1862-08-18) ගාලු වරායෙන් ලක්දිවට ගොඩ බැස වැලිවත්තේ විජයානන්ද විහාරස්ථානයට වැඩම කළ අඹගහවත්තේ ස්වාමීන්ද්‍රයෝ එම වර්ෂයේ ම ලක්දිව රාමඤ්ඤ නිකාය නම් වූ භික්ෂු වංශය පිහිටුවාලූහ. 1863 ජූලි 13 දින ගාල්ලේ වැලිවත්තේ විජයානන්ද විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන මහමෝදර උදකුක්ඛේප සීමාවේදී ප්‍රථම රාමඤ්ඤනිකායික භික්‍ෂූණ්ගේ උපසම්දා විනය කර්මය සිදු කෙරිණ.
අතිගරු අඹගහවත්තේ හිමියන් බු.ව. 2424 මැදින් මස 07 වැනි රිවිදින හෙවත් ක්‍රි.ව. 1880 පෙබරවාරි 15 දින පයාගල මූල මහා විහාරයේදී 35 නමකගේ අත්සන් සහිත ව “ශාසනවංශ පවරසිරි සද්ධම්මාචාරිය යති සංඝපති යන ගෞරව නාමොපාධිය සහිත ව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ ප්‍රථම මහානායක ධූරයට පත්වූහ.

උන්වහන්සේ ස්වනිකායික භික්ෂූන්ගේ ආකල්ප සම්පත්තිය අනන්‍යතාව ආරක්ෂාව සඳහා යම් යම් ක්‍රියා මාර්ග පෙන්වා දුන්හ. ඒවා අතර දසපනත නමින් කතිකාවතක් ඇති කිරීමත්, බුරුමකුඩය වෙනුවට ලාංකික තල් අත්තෙන් කළ ‘ගොටු අත්ත’ නැමති ඡත්‍රයත් නියම කිරීම විශේෂයි. උන්වහන්සේගේ සෙසු ධර්ම ශාස්ත්‍රීය සේවය වශයෙන්
- ගුරු භක්ති ප්‍රණාම පාලි පද්‍ය කෘතිය රචනා කිරීම
- ‘ඥානෝපායිනී’ ශාස්ත්‍රීය සඟරාව ආරම්භ කිරීම
- ප්‍රාතිමෝක්ෂයට සවිස්තර වර්ණනාවක් කිරීම
- බුරුම රට තිබෝ රජතුමාට පාලි ගාථා 100කින් සංදේශයක් යැවීම
- සියම්රට ඵුස්සදේව ශාසන ශෝභන අරියවංශ සඟරජ හිමිට ගාථා 124ක පාලි සංදේශයක් යැවීම
- උපසම්පදාව ද, දුශ්ශීලවාද ආදී වාදයන්ට සම්බන්ධ වීම යනාදිය දැක්විය හැකිය.
මෙසේ සම්බුද්ධ සාසනයේ අභිවෘද්ධියට උදාර මෙහෙයක් සිදු කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදි කර්‍තෘභූත ශාසනවංශ කවිධජ සිරිසද්ධම්මාචරිය යති සංඝපති අඹගහවත්තේ සරණංකර ඉන්දාසභවර ඤණසාමි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රථම මහානායක මාහිමිපාණෝ 1886 වර්ෂයේ ජනවාරි 29 දින පයියාගල ධර්මදූත මූලමහා විහාර පිරිවෙන් විහාරස්ථානයේ දී අපවත් වී වදාළහ.
මහාචාර්ය ඇකිරියගල නන්ද මහා ස්ථවිරයන්ගේ ලිපියක් ඇසුරින් සකස් කළේ
විද්‍යාවේදී, ත්‍රිපිටකාචාර්ය, මහව ඤාණාලෝක හිමි