අඹගහවත්තේ ශාසනවංස කවිධජ සිරි සද්ධම්මාචරිය යතිසඩ්ඝපති
ඉන්‍දාසභවර ඤාණසාමි මහානායක ස්වාමීන්‍ද්‍ර වරිතය
කළුතර කුමරිකන්දේ සුදර්ශන පරිවෙණාධිපති මහොපාධ්‍යාය කොත්මලේ සිරි සද්ධම්මවංස මහා ස්ථවිරපාදයන් විසින් සම්පාදිත කෘතියකි
(සකස් කළේ: පූජ්‍ය මහව ඤාණාලෝක හිමි)
ප්‍රථම භාගය
ග්‍රන්‍ථාරම්භය
ශ්‍රෙෂ්ඨ වීර පුරුෂයන්ගේ උත්පත්තිය විරලවූයෙන් දිළිඳු වූ මේ මහී කාන්තා තොමෝ අධිකතර කාලාන්තරයකින්ම මහාත්ම්‍ය ගුණයෙන් ගුණවත් වූ භාග්‍යයෙන් සම්භාව්‍ය වූ සත් කීර්ති මූර්තීන් දිශානුදිශාවන් හෙළි කළ උතුම් වීර පුරුෂයෙකු උපදවන්නීය. දහනව වැනි ශතවර්ෂයේ ආදි භාගයෙහි වූ විෂ්ණු විංශතියෙහි දී අනෙක් බොහෝ රටවල් මෙන්ම ලක්මව් තොමෝ ද ධන්‍ය පුණ්‍ය ගුණසම්පන්න දරු රැසක් ප්‍රසව කළාය. සිංහල ධ්වජය බිමට බැහූ තැන් සිට ආරබ්ධ වූ ලඩ්කාන්‍ධකාරය දුරලීමට ඒ මේ උසස් පඬිවරයන්, ව්‍යක්ත කථිකයන්, ශාසන හිතවතුන් හා මහා ගුණවතුන් ගිහි පැවිදි උභය භූමියෙහි ම සිට ප්‍රයත්න දැරූ මේ කාලය වනාහි නියඟින් වියළී ගිය වනයක් දලුලන ඍතුවට පැමිණියා සේ විශිෂ්ට සොභා සම්පත්තියක් උද්වහනය කෙළේමැයි.
මේ ශ්‍රේෂඨ පුරුෂ ශ්‍රේණිය විසින් නඟන ලද ආගමික ජාතික උද්‍යොගයම ක්‍රමයෙන් වේගවත් වූ චක්‍රයක් මෙන් අද නවීන ගිහි පැවිදි වීරවරයන්ගේ හස්ත තලයන් හි නොනවත්නා ක්‍රියා ශක්තියකින් සමුන්නතියට පැමිණීගනයයි. මේ විශිෂ්ටතර ලෝක හිත කාරිත්‍වයේ දී නා නා පක්‍ෂයන් ග්‍රහණය කළ උත්තමයන් අතර පහළව උසස්ම ශාසනික මෙහෙයකින් ලඞකා භූමියට හා සිංහල මහා ජනතාවට පරමෝපකාරයක් සිද්ධකළා වූ මහා වීරවරයෙක් නම් අඹගහවත්තේ ඉන්‍දාසභවර ඤාණසාමි මහානායක ස්ථවිරපාදයන් වහන්සේ යි. මොහොට්ටිවත්තේ ගුණානන්‍ද සාමින් හා හික්කඩුවේ සිරි සුමඩ්ගල නායක ස්ථවිර, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක ස්ථවිර, වැලිගම සිරි සුමඩ්ගල ස්ථවිරාදී ව්‍යක්ත පඬිවරයන් මිසදුටු අඳුර හා ශාස්ත්‍රාන්‍ධකාරයත් දුරලා ධර්‍ම ශාස්ත්‍රාලෝකය උපදවන්නට ප්‍රයත්න දරද්දීම විභජ්ජවාදී තථාගත ධර්මය හා උසස් පිරිසිදු ශාසනික සුප්‍රතිපත්තියක් නඟාසිටුවාලීමට මේ ශාසනික මහා පඬිවරයන් වහන්සේ විසින් කායජීවිතාපේක්‍ෂා රහිතව දරන ලද මහා වීර්‍ය්‍යයෙහි ප්‍රතිඵලය අද ලක්දිව ලක්‍ෂ සඩ්ඛ්‍යාත මහා ජනතාවකට විශිෂ්ට ගුණ ඥාන සමෘද්ධියකින් ශාසන ධර්‍මරසාස්වාදනය පිණිස මහදුපකාරයක් ව පවතී.