අප ගතයුතු මග ….

 

මිහිදු මහ රහතන් වහන්සේගෙන් ආරම්භ ව අනුරාධපුර – පොළොන්නරු රාජධාරි යුගවල විවිධ අභියෝගයන් ජය ගනිමින් පෙරට ආ ශ්‍රී ලංකා සම්බුදු සසුන මහනුවර යුගය වන විට අතිශය පරිහානි තත්ත්වයට පත් ව තිබු බව වැලිවිට අසරණ සරණංකර මාහිමියන්ගේ ශාසන පුනරුද්දිප්ති වැඩසටහන විමසා බැලීමෙන් පෙනේ. මුං කොටුවේරාළ නමැති පඩිවරයාගේ “සඟරජවත’ කෘතියෙහි අන්තර්ගත සරණංකර සංඝරාජ සමය විවරණයෙන් එය පැහැදිලි වේ.

සැදැහැත්තන් පුදන – නොයෙක් පූජා ලබමින
නෑයන්ට බෙදමින – නිමල සස්නේ කසල තවරන

නියම පය හරිමින – විසිතුරු පිඟානක් ගෙන
පිඩු සිඟුම් හරිමින – මහණ අඟනුන් ලබා පිසකන

උන්ගෙන් පැවත එන – දරුවන් පැවිදි කරගෙන
බැහැරින් පැවිදි වන – අයට අවසර නොදි ඉදගෙන

රහත් දද ඇදගෙන – චාටු තපසින් සසුන් කෙළෙසන
ගිහි ඇමතියන් මෙන – මහත් අභිමානයෙන් කල්යන

අඹුදරුවන් රකින – පමණමයි උන් පුරන සිල්ගුණ

මේ ආදි වශයෙන් එවක පැවති භික්‍ෂු සමාජයේ පරිහානිය පැහැදිලිය. සරණං කර සංඝරාජ මාහිමියන් වහන්සේ ශාසන සංශෝධනයක් සඳහා ඉදිරිපත් වුවද එය යථා යෝග්‍ය පරිදි සිදු කර ගැනීමට එවකට සිටිය කලින් පැහැදිලි කළ භික්‍ෂු ප්‍රතිරූපකයන්ගෙන් එයට ඉඩක් නොලැබුණි. ඔවුහු රජුගේ ද මහ ඇමතින්ගේ ද අනුග්‍රහය ලබමින් ශාසන සෝධන ක්‍රියාවලියට බාධා පැමිණවූහ. ඒ නිසාම ප්‍රතිපත්ති ගරුක භික්ෂූන් වහන්සේලා මහනුවරින් ඉවත් ව මුහුදු බඩ පළාත් කේන්ද්‍ර කොටගෙන දකුණු දිගට විහිදි ගිය සරණංකර මාහිමියන් ආශ්‍රයේ සිටි අමරපුර නිකාය ආරම්භ කළ අඹගහපිටියේ (වැලිතර) ඤාණවිමල තිස්ස මාහියන් පිරිසිදු උපසම්පදාවක් අපේක්‍ෂාවෙන් බුරුම දේශයේ අමරපුරයට වැඩියේ ද එම හේතූන් නිසාමය. එවකට සියම් මහා නිකායේ පැවිදිව සිටි අඹගහවත්තේ සිරි සරණංකර ස්වාමීන් වහන්සේ බුරුම දේශයේ රාමඤ්ඤ ප්‍රදේශයට වඩින්නේ ද එම සරණංකර මාහිමියන්ගේ ශාසනික ගැනීමෙන් කළ කැපකිරීම් අර්ථවත් කොට පිරිසිදු භික්‍ෂු සමාජයක් සිරිලක තුළ පිහිටුවීමේ අරමුණ පෙරදැරිවමය. ඒ ආදි කර්තෘන් වහන්සේලාගේ උදාර අරමුණු පරික්‍ෂාවෙන් භික්‍ෂු සමාජය විටින් විට පිරිහි ගිය හැටිත්, ඒවා ප්‍රථිශෝධනය – ප්‍රතිසංස්කරණය කොට නැවත තහවුරු කිරීම උදාර ශාසනික හැගීම් ඇති විටින් විට පහළ වු උදාර පුරුෂයන් විසින් සිදු කොට ඇති සැටිත් දැකගත හැකිය.

අඹගහවත්තේ මාහිමියන් 1864 වර්ෂයේ දී ගාල්ල මහමෝදර උදකුක්ඛේප සිමාවේදි ප්‍රථම උපසම්පදාව සිදු කොට ආරම්භ කරන ලද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය නම් වු භික්‍ෂුවංශය වසර 156 ක් තුළ ක්‍රියාත්මක වී ඇති ආකාරය මේ මොහොතේ සිහි නුවණින් විමසා බැලීම ශාසන සරස්ථිතිය අපේක්‍ෂා කරන හැම දෙනාගේ ම යුතුකමක් ද වගකීමක් ද වන්නේ ය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ආරම්භ කොට වසර 100 ක් පිරෙන්නට ආසන්න යුගයෙහි. සුපිරිසිදු සසුන ක් අපේක්‍ෂා වෙන් ජිවිත නිරපේක්‍ෂව අනන්ත කැපවීම් කළ ආදි කර්තෘන් වහන්සේලාගේ දෘඪ උත්සාහය හා උදාර අදහස් පිළිබඳවත්, සිදුවීගෙන යන පරිහානි තත්ත්වයත් දැක බලවත් සේ සංවේග ප්‍රාප්ත අතිපූජ්‍ය කඩවැද්දූවේ ජිනවංශ මාහිමිපාණන් වහන්සේ ප්‍රතිපත්ති ගරුක භික්‍ෂු පිරිසක් බිහි කිරීමේ උදාර අදහසින් කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව නමින් භික්‍ෂු සංවිධානයක් බිහි කිරීම ශාසන ඉතිහාසයේ හැරවුම් ලක්‍ෂයක් ලෙස සඳහන් කළ හැකිය. උන්වහන්සේගේ උදාර අධිෂ්ඨානයෙහි ප්‍රතිඵලයක් ලෙස යෝගාශ්‍රම සංස්ථාව මගින් සිදු වු උදාර ප්‍රතිපත්ති සංවර්ධනය දැක්විය හැකිය. අගය කළ හැකිය. වර්තමාන භික්‍ෂු සමාජය මුහුණ දී ඇති බරපතලම අභියෝගය වන්නේ ත්‍රිපිටක ධර්මය පිළිබඳව පෘථුල අවබෝධයක් නොමැති වීම යි. ත්‍රිපිටක ධර්මාධ්‍යාපනය ලැබීම සඳහා වර්තමානයෙහි විධිමත් ආයතනයක් ද නැත. ශාසනික හැඟීමෙන් එබඳු ආයතනයක අවශ්‍යතාව වටහාගෙන ක්‍රියා කරන්නන් ද නැත. එය බරපතල අභියෝගයකි. එනිසාම ධර්මය විකෘති කරන සංවිධාන හා පුද්ගලයන්ද බහුල වෙමින් පවතී. ඒවා මර්දනය කළ හැක්කේ ත්‍රිපිටක ධර්මය මැනවින් හැදැරීමෙනි. ප්‍රගුණ කිරීමෙනි. භාවනා මාර්ගය තුළ ශික්‍ෂණයක් ලැබීමෙනි. එබඳු මාර්ග ආවරණය කරන්නන් විසින් ද ක්‍රමානුකූලව සිදු කරනු ලබන්නේ ධර්ම විනය විරෝධීන්ට සහයෝගය දැක්වීමය. අධර්මවාදීන් අවිනය වාදීන් බහුල සමයක ශාසනික හැඟීම් ඇති සැදැහැවත් ධර්ම ය දත් පාලකයන් සිටිය යුතුය. එවිට එම අධර්මවාදීන් ප්‍රතිබාහනය කළ හැකිය. වෝහාරික තිස්ස රජතුමන් විසින් එවක සිටි ධර්ම විකෘති කළවුන් වෙර ඔබ්බවා රටින් පිටුවහල් කළ බව මහාවංශාදී ඉතිහාස ග්‍රන්ථවල පෙනේ. අද රටට අවශ්‍ය ව ඇත්තේ ද එබඳු අදීන අභීත ධර්මවාදී පාලකයෙකි. පාලකයා අධර්මවාදීන් ගේ ග්‍රහණයට හසුවුවහොත් ධර්මවාදී භික්‍ෂුන්ට හෝ ධර්මයට රැකවරණයක් නැත. එය ඉතිහාසය පුරාම සනාථ වු සත්‍යයෙකි. වර්තමානයේ ද අධර්මවාදීන් රාජානුග්‍රහයෙන් බලවත් වූ විට ධර්ම විනය ගරුක භික්‍ෂුවට රැකවරණයක් නැත. අපි ඉතිහාසය පුරාම එම ඛේදවාචකයට මුහුණ දී සිටිමු. සංඝාධිකරණ තීන්දුවලට නීතිමය බලය ලබා ගැනීම සඳහා වු සංඝාධිකරණ පනත මෙතෙක් ක්‍රියාත්මක කරගත නො හැකිවුයේ ද ඒ අධර්මවාදීන්ගේ ග්‍රහණයට පාලකයන් නතු වී සිටින හෙයින් බව පැහැදිලිය. ධර්මය විනය දන්නා සැදැහැවතෙකු බලයට පැමිණිය හොත් තම අදහස මුදුන් පත් කර ගත හැකි යැයි සරණංකර සංඝරාජයන් වහන්සේත් කල්පනා කළේ මෙබඳු වාතවරණය කදීය. උන්වහන්සේට ඒ උදාර ශාසනික අරමුණ සම්පූර්ණ වශයෙන් ඉටුකරගත නොහැකි වුයේ රජු අධර්මවාදීන්ගේ ග්‍රහණයට නතුව සිටි හෙයිනි. එබඳු පරිසරයක අප විසින් කළ යුත්තේ කුමක් ද? භික්‍ෂුන් වහන්සේ ධර්ම විනය ඥානයෙන් සන්නද්ධ වීමත් ප්‍රතිපත්ති මාර්ගය තුළ ශික්‍ෂණයට පත්වීමත්. අනිවාර්ය වශයෙන් කළයුතු වන්නේ ය. ත්‍රිපිටක ධර්මය, පාලි භාෂාව හා භාවනා මාර්ගය හොදින් ප්‍රගුණ කළ යුතු වන්නේ ය. කෙබඳු දුෂ්කරතාවයන් යටතේ වූවද ආත්ම පරිත්‍යාගයෙන් අපේ ආදි කර්තෘන් වහන්සේලා සිදු කළ උදාරතර කැපවීම ආදර්ශයට ගෙන ආත්මාර්ථකාමී ලාභ සත්කාරයෙහි ඇළුණු අධර්මචාරී භික්‍ෂු ප්‍රතිරූපකයන් ගෙන් මේ ශාසනය බේරා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය. වර්තමානයෙහි ඇතැම් භික්‍ෂුන් භික්‍ෂු කණ්ඩායම් ධර්ම විරෝධිව, අවිනයවාදීව කටයුතු කරනු පෙනේ. මෛත්‍රිය කරුණාව සමානාත්මතාව පදනම් කරගත් ධර්මයට පිටුපා වෛරය ක්‍රෝධය වර්ගවාදය අසමානතා ඉස්මතු කරමින් මනුෂ්‍යත්වයට නිගා දෙක ක්‍රියාවන්හි නිරත වන භික්‍ෂු ප්‍රතිරුපකයන් නිසා භික්‍ෂු ප්‍රතිරුපයට බරපතල ලෙස හානි සිදු වි ඇති අයුරු පෙනේ. මේ තත්ත්වය වළක්වා ගත හැක්කේ භික්‍ෂුන් වහන්සේ ධර්ම විනයානුකූල, ධර්ම විනය ගරුක පිරිසක් වශයෙන් ආයති සංවරයෙහි පිහිටා බුද්ධි මත්ව, ඤාණ සම්ප්‍රයුක්තව ක්‍රියා කිරීමෙන් පමණි. වර්තමානයෙහි පන්සලේ ක්‍රියාකාරිත්වය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් වී ඇත. බොහෝ දෙනාගේ උදහසට ලක් වී තිබේ. වැරදි තීරණ ගන්නා මධ්‍යස්ථාන බවට පත් වී තිබේ. එය නිවැරදි කරගැනීම, නිසි මඟට යොමු කරවීම කාලීන අවශ්‍යතාවක් බවට පත් වී ඇත. ආසවටඨානිය ධර්ම ක්‍රියාත්මක වීමෙන් පන්සලේ භික්‍ෂුවගේ ක්‍රියාකාරිත්වය වෙනස් වු ආකාරය හඳුනාගෙන එයට පිළියම් යෙදිමට කාලය පැමිණ තිබෙන බව සිහි බුද්ධියෙන් විචාරයෙන් විමසා බැලිය යුතු වේ.

භික්‍ෂූන් වහන්සේගේ වාසස්ථානය ලෙසත් උපදේශන මධ්‍යස්ථානයක් ලෙසත් පන්සල වර්තමානය වන විට සංකීර්ණ සේවා මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙන අයුරු දැක ගත හැකිය. සසර දුකින් මිදෙනු පිණිස සම්බාධ සහිත ගිහි ගෙය හැරදමා අභ්‍යවකාශය බඳු වූ නිදහස් පරිසරයකට ප්‍රවිෂ්ට වූ භික්‍ෂුව සිය අරමුණ ඉටුකර ගැනීමට අදාළ ප්‍රතිපත්ති පූරණයෙහි යෙදෙන අතර, අව් වැසි මැසි මදුරු උවදුරු කරනු පිණිස, සකස් කරගත් ‘අතු පැළ’ (පන්සල) සමාජ වෙනස්වීම තුළ අතිශය කාර්ය බහුල, බහුකාර්ය මධ්‍යස්ථානයක් බවට පත්වූ සැටිත් කාර්ය භාරය වෙනස් වී ගිය සැටිත් විමසා බැලිය යුතුය.
සමාජගත ආයතනයක් වූ කලී ඒ සමාජයේ කාලීන අවශ්‍යතාවයන් සපුරාලන්නක් විය යුතුය. නොඑසේ නම් එම ආයතනයට පැවැත්මක් තිබිය නොහැකිය. සමාජ අවශ්‍යතා ඉටු කිරීමෙහිලා හැකියාවක් නොමැති ආයතන සමාජයෙන් ප්‍රතික්ෂේප වන හෙයිනි. ඒ අනුව පන්සල නමැති ආයතනය ද සමාජ අවශ්‍යතාවන් හා අපේක්‍ෂාවන් හැඳිනගෙන ඒවාට අනුව ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත්විය යුතුය. පුරාතන පන්සලේ කාර්යභාරය වූයේ කුමක්ද? පැරණි සමාජය පන්සලෙන් අපේක්‍ෂා කෙළේ කුමක්ද? යන්නත් නූතන සමාජය පන්සලෙන් අපේක්‍ෂා කරන්නේ කුමක්ද? යන්නත් මෙහිදී පරික්‍ෂාවට ලක්විය යුතුය.
පුරාතන පන්සලේ කාර්ය භාරය වූයේ කුමක්දැයි පරීක්‍ෂා කිරීමේ දී එය හුදු අධ්‍යාත්ම සංවර්ධනය කේන්ද්‍ර කරගත් මධ්‍යස්ථානයක් බවත්, එහි වෙසෙන භික්‍ෂූන් වහන්සේ තම පෞද්ගලික ආත්ම විමුක්තිය වෙනුවෙන් කටයුතු කළ අයෙකු බවත්, සමාජය ධාර්මික කිරීම ධර්මානුගත කිරීම පරාර්ථ සේවය සඳහා සිදුකළ අවශේෂ කාර්යයක් බවත් පෙනේ. පන්සල විමුක්තිකාමීන්ගේ වාසස්ථානය ලෙස සැළකූ පැරණි සමාජය එම විමුක්තිකාමීන්ගේ අරමුණ ඉටුකර ගැනීම සඳහා ප්‍රත්‍ය දානයෙන්, සිවුපසයෙන් සංග්‍රහ කළ, එම විමුක්තිකාමීන්ගේ අරමුණ ඉෂ්ට වීම තම ප්‍රත්‍ය සංග්‍රහයේ ප්‍රතිඵලයක් බව දැන සතුටු වූ සරළ සමාජයක් විය. එම විමුක්තිකාමීන් ද තම ප්‍රත්‍ය දායකයාගේ සේවය අතිශය කාරුණිකව අගය කරමින් ඔවුන්ගේ ප්‍රත්‍ය සංග්‍රහයට කරන ප්‍රති උපකාරයක් ලෙස සැළකුවේ ස්වකීය විමුක්ති අපේක්‍ෂා අරමුණ ඉටු කර ගැනීමය. තමන්ට ආමිෂ දානයෙන් සංග්‍රහ කරන ප්‍රත්‍ය දායකයන් වෙනුවෙන් ධර්ම දානයෙන් ප්‍රත්‍යුපකාර කරන ලෙස ධර්මයෙහි සඳහන් වන්නේ ද එහෙයිනි.
පැරණි සමාජය අභිනිෂ්ක්‍රමණයෙහි සැබෑ අරුත හැඳිනගෙන සිටි අතර, කාම සම්පත්තීන් අතහැර, විමුක්ති අපේක්‍ෂාවෙන් ප්‍රව්‍රජාවෙහි යෙදුණු අයෙකුගෙන් ලෞකික කිසිවක් අපේක්‍ෂා කෙළේද නැත. ඒ අනුව පැරණි පන්සලේ කාර්යය වූයේ ආත්ම විමුක්තිය සළසා ගැනීමට කටයුතු කිරීම වූ අතර, පරාර්ථ සේවය ද්විතීය කාර්යයක් විය. එම පරාර්ථ සේවය සිදුවූයේ ද පන්සලේ ආදර්ශයන් මගිනි. ධර්මයේ ඵලය ලත් භික්‍ෂූන්ගේ බලපෑම සමාජය ධර්මානුගත කිරීමට උපකාරී වූ හෙයිනි.
මේ ආකාරයෙන් පන්සල අධ්‍යාත්ම දියුණුවේ, සංවර්ධනයේ හා බලපෑමේ කේන්ද්‍රස්ථානය වූ හෙයින් පන්සල ලෞකික සමාජ අවහ්‍යතා සපුරන ආයතනයක් ලෙස හැඳිනගත්තේ නැත. භික්‍ෂූන් වහන්සේගෙන් ලෞකික ජීවිතයේ සාර්ථකත්වයට අදාළ ධාර්මිකත්වය පිණිස මග පෙන්වීමත්, දුකින් නිදහස්වීමට අදාළ මාර්ගෝපදේශ ලබාදීමත් පමණක්ම සිදුවිය. භික්‍ෂූන් වහන්සේ ද පිණ්ඩපාතයෙන් යැපෙමින් ස්වකීය මූලික අවශ්‍යතා සපුරාගත් අතර, ආධ්‍යාත්ම දියුණුව කෙරෙහිම අවධානය යොමු කොට කටයුතු කළහ. ගුණවතුන් ම ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි නිරත වූ ආදර්ශයන්ගෙන් පිරි විමුක්තිකාමීන් ම අනුශාසකයන්, මාර්ගෝපදේශකයන් වූ හෙයින් පැරණි පන්සල පුණ්‍ය ක්ෂේත්‍රයක් ම විය. එය ආධ්‍යාත්ම සම්පත් මධ්‍යසථානයක් වූ හෙයින් සමාජය එයින් ලෞකික, භෞතික සම්පත් අපේක්‍ෂා කළේ ද නැත. ඒවා ලබාග්නනා අයුරු පන්සල විසින් පෙන්වා දුන් අතර, පංචසීලයෙහි, දස කුසලයෙහි නිරතව නියුක්තව සිටින්නා සිතූ පැතූ සම්පත් ලබන ආකාරය ද පැහැදිලි කළේය. එහෙයින්ම සැනසිලි දායක, සරල සමාජ වාතාවරණයක් බිහිවිය. ලාභ උපදවන මග හා නිවන් ලබන මග පැහැදිලි කරදීමට බුදුරදුන්ට සිදුවූයේ ද මේ සරල සමාජ ක්‍රමයෙන් ඔබ්බට යාමත් ශාසනය තුළ භික්‍ෂු සමාජය තුළ ආසවට්ඨානීය ධර්ම පහළවීමත් සමඟ ය.
කල්ගතවීමත්, පිරිස බහුල වීමත්, අරමුණ වෙනස්වීමත්, ප්‍රත්‍ය ලාභය බහුලවීමත් උගත්කම වැඩිවීමත් නිසා භික්‍ෂු සමාජය වෙනස් මඟක් ගැනීමත් සමඟ පන්සලේ කාර්යය වෙනස් වී ගිය හැටි ශාසන ඉතිහාසයෙන් පැහැදිලි වේ.
කල්ගත වීමෙන් භික්‍ෂු සමාජය වෙනස් වන්නේ අරමුණ වෙනස් වීමෙනි. මූලික අරමුණ විය යුත්තේ විමුක්ති අපේක්‍ෂණය, ශාක්ෂාත්කරණය වුව ද, තර්කය පදනම් කොටගත් දෘෂ්ටිගතික බුද්ධිමතුන්ගේ බහුලවීමත් සමඟම භික්‍ෂු සමාජය කාලීනව වෙනස් විය යුතු බවත්, සමාජගත අවශ්‍යතා වෙනුවෙන් භික්‍ෂූන් වහන්සේ ද, කටයුතු කළයුතු බවත් අවධාරණය කරමින් පන්සලේ කාර්යභාරය වෙනස් කරලීමට උත්සාහ දැරූ බවක්ද පෙනේ.
අනාගත භය සූත්‍ර දේශනාවල දී බුදුරදුන් පැහැදිලි කළ ආාකරයෙන් ම ධර්ම විනය පදනමෙන් බැහැර වූ භික්‍ෂූන් වහන්සේ අවශේෂ ධර්ම ශාස්ත්‍ර ගවේෂණයට යොමුවීමත්, බාහිර සාධක පදනම් කරගෙන, අධර්මවාදීන් බහුල වීමත්, ධර්මවාදීන්, විනය වාදීන් පාපහීරුකව, මේ ප්‍රවාහයෙන් ඉවත් වීමත් නිසා පන්සලේ කාර්යය ද, භික්‍ෂු කාර්ය ද වෙනස් වී ගියේය.
භාවිතයට ගතයුතු ධර්මය දේශනාවට පමණක් යොමුවීමෙන්, පිරිත නම් වූ ශාන්තිකර්මයක් හරහා යකැදුරුකම් වෙදකම් ද, නක්‍ෂත්‍ර ආදී අනෙසන ධර්ම රාශියක් ද පන්සලේ කාර්යභාරය යටතට පත්විය. මේ ආකාරයෙන් කාලයාගේ ඇවෑමෙන් ද උගත්කම් දියුණුවීමෙන් ද, ලාභ කීර්ති ප්‍රශංසාදියට ගොදුරු වීමෙන් ද අරමුණු වෙනස්ව යාමෙන් ද අධ්‍යාත්ම දියුණුවේ සංකෙත්ය වූ පන්සල ලෞකික භෞතික දියුණුවේ සංකේතය දක්වාම වර්ධනය වී ගිය සැටියක් දැකිය හැකිය.
ලාභග්ග මහත්තතා හේතුවෙන් පන්සල ව්‍යාපාරික ස්ථානයක්, සුභ සාධන මධ්‍යස්ථානයක්, අධ්‍යාපන හා සමාජ සේවා ස්ථානයක් ආදී වශයෙන් වෙනස් මගක් ගත් අයුරු ද වර්තමානය වන විට පන්සලේ කාර්යභාරය කුමක්ද යන්න වටහා ගත නොහැකි මට්ටමට එය සංකීර්ණ වී ඇති බවද පෙනේ. භික්‍ෂූන් වහන්සේ තමන් අයත් කාර්යයෙන් බැහැර වී ඇත. නවීන කාර්ය භාරයන් රාශියක් තමන් වහන්සේ වෙත පවරාගෙන ඇත. එපමණක් නොව ධර්මයද විකෘති කරමින් විනය ද විකෘති කරමින් විවිධ විකෘති අර්ථ සපයමින් තමන්ගේ පැවැත්මට අදාළව ලාභාපේක්‍ෂාවෙන් ම, ආත්ම සුඛ විහරණය පිණිසම කටයුතු කරති. ඇතැමුන් විසින් වර්තමාන පන්සලේ කාර්යය, මහජනයා දහමින් ඉවත් කරවන, සමාජයට පීඩාදායක කාර්යයක් බවට පත්කරගෙන ඇත. නිශ්චිත කාර්යභාරයක් නොමැති හෙයින් විකෘති කාර්යභාරයන් ක්‍රියාත්මක කරනු පෙනේ. වත්මන් පන්සලේ කාර්ය භාරය වී ඇත්තේ එය භෞතික සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමය. එහෙයින් ම ආධාත්ම සංවර්ධන කාර්යයෙන් බැහැර වී ඇත. මේ අනුව පන්සලේ කාර්යභාරය යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ භික්‍ෂූන් වහන්සේගේ කාර්යභාරය ම වන්නේ පන්සලේ කාර්යභාරය මෙහෙය වන්නා භික්‍ෂූන් වහන්සේ වන බැවිනි.
බුදු දහම මෙලොව, පරලොව යහපතට මග පෙන්වන දහමක් හෙයින්, ලෞකික ජීවිතයේ සාර්ථකත්වයට ධාර්මික පදනමක් සහිත මාර්ගය හෙළිදරව් කරන හෙයින් පන්සලේ කාර්යභාරය ද එයම වන බව පැහැදිලිය. බුදුරදුන්ගේ සූත්‍ර දේශනාවන් විමසා බැලීමේ දී ඒවා කෙරෙහි අවධානය යොමු කිරීමේ දී මිනිසුන්ගේ ජීවිත සුවපත් කිරීමට අදාළ සර්ව සම්පූර්ණ උපදෙස් ඒවායෙහි ඇතුළත් ය. එම දේශනා අනුව සමාජයට උපදෙස් දීම ඒවායෙහි ඇතුළත්ය. එම දේශනා අනුව සමාජයට උපදෙස් දීම, අනුශාසනා කිරීම, මඟ පෙන්වීම පන්සලේ කාර්යය ලෙස හැඳිනගත යුතුය. විශේෂයෙන්ම එහිදී භික්‍ෂූන් වහන්සේගේ ආදර්ශය ඉතා වැදගත්ය. අල්පමාත්‍ර වරදෙහි පවා බිය දක්නා සුළු, ඉන්ද්‍රිය සංවරයෙහි යෙදුණු භෝජනයෙහි පමණ දත් කුසීත බවින් මිදුණු, සීල – සමාධි – ප්‍රඳා සංඛ්‍යාත ප්‍රතිපදාවෙහි නියැලුණු භික්‍ෂුවම ඒ කාර්යයෙහි දක්‍ෂය. පන්සලේ කාර්යභාරය මැනවින් ඉටුකළ හැක්කේ උන් වහන්සේට පමණි. නූතන පන්සල එම ගුණයෙන් පිරිහී වෙනත් ව්‍යාපාරයන්හි යෙදී ඇති හෙයින් භික්‍ෂුව දෝෂ දර්ශනයට ලක්වී ගැටළු රාශියක් නිර්මාණය වී ඇත.
ඒ ඒ කාල වකවානුවේ දී භික්‍ෂූන් සමාජ නායකත්වයට පත්වීමත්, උන් වහන්සේලාගේ අදහස් අනුව රට පාලනය කිරීමට රජවරුන් කල්පනා කිරීමත් සමඟ ද පන්සලේ කාර්යය වඩාත් සංකීර්ණ වූ සැටි පෙනේ. සමාජයේ සියලු පාලන කටයුතු පන්සල කේන්ද්‍රකොටගෙන පන්සලේ උපදෙස් පරිදි සිදුවිය. දුටු ගැමුණු රාජ්‍ය පාලන සමයේ දී එය ඉතා උසස් ලෙස කැපී පෙනේ. එකල භික්‍ෂූන් වහන්සේ ධර්මය තුළ සිට තම වගකීම ඉටු කළ හෙයින් වර්තමානයෙහි මෙන් ඛේදනීය තත්ත්වයක් දක්වා දුර දිග ගිය බවක් නොපෙනේ.
සමාජ වෙනස්වීම වූ කලී සදාතනික ක්‍රියාවලියකි. එම වෙනස්වීමට බලපාන සාධක කවරේද? එම වෙනස්වීම තුළ පන්සලේ හෝ භික්‍ෂූන් වහන්සේගේ කාර්යභාරයට කුමක් විය යුතුද? එය කාලීනව වෙනස් කළ යුතුද? යන්න ද සිතා බැලිය යුත්තකි. විවිධ සමාජ සංවර්ධන ක්‍රියාදාමයන් සහ සමාජ වෙනස්වීම බලපාන නවීකරණය – කාර්මිකකරණය – බටහිරකරණය වැනි ක්‍රියාවලීන් සාම්ප්‍රදායික පිළිගැනීම්වලට අභියෝග කරන විට එම සම්ප්‍රදායන් රැක ගැනීම වෙනුවෙන් හෝ මූලික අරමුණු තුළ රැඳි සිටීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කෙරෙහි සම්ප්‍රදායගරුක සමාජය උත්සුක වනු පෙනේ. සමාජ වෙනස්වීමට බලපාන විවිධ හේතු කාරක දැක්වූව ද පුද්ගල මානසික ස්වභාවයන් – තත්ත්වයන් සහ චින්තන ක්‍රමය ද සමාජ වෙනස්වීම කෙරෙහි බලපාන ආකාරය පැහැදිලිය. මෙම විවිධ වෙනස්වීම හමුවේ බුද්ධ දේශනාවට අනුව භික්‍ෂූන් වහන්සේගේ කාර්යභාරය විය යුතු වන්නේ සම්ප්‍රදාය ආරක්‍ෂා කිරීම සඳහාම ක්‍රියා කිරීම නොවේ. සම්ප්‍රදායෙහි අර්ථවත් බව සහ අදාළ බව විමසා තීරණයක් ගැනීමය. එහිදී හුදු අන්ධානුකරණයෙන් සම්ප්‍රදාය බිඳ දැමීම හෝ නවීන මතවාද වැළඳ ගැනීම හෝ බුදු දහම අනුමත නොකරයි. භික්‍ෂූන් වහන්සේගේ මූලික අරමුණ ද කාලීන සමාජ තත්වය ද පිළිබඳ අවබෝධය ද ඇතිව ආත්මාර්ථ සාධනයට හා පරාර්ථ සාධනයට අදාළ වන පරිදි සම්ප්‍රදාය හා නවීකරණය අතර ප්‍රසන්න සමථයක් ඇති කරලීම තුළින් ගැටලුව නිරාකරණය කරලීමට වුව ද බුදු දහම බාධකයක් නොවේ.
ශ්‍රී ලංකාවේ නූතන සංකීර්ණ සමාජ පරිසරය තුළ භික්‍ෂූන් වහන්සේ මුහුණපාන ගැටලු රාශියක් සම්බන්ධව විවාදාපන්න අවස්ථාවක ඒ පිළිබඳ සංවාදයක් ඇති කිරීම යථාවබෝධය සඳහා සුදුසු සේ පෙනේ. රට, ජාතිය, ආගම, යුද්ධය, දුරාචාරය, දූෂණය, භීෂණය, ඝාතනය වැනි විවිධ මාතෘකා සම්බන්ධව සමස්ත සමාජයම කිසියම් ව්‍යාකූලතාවයක පැටලී සිටින මොහොතක සමාජයේ බලපෑම් සහිත ආයතනයක් ලෙස පන්සලේ කාර්යභාරය නිසි ලෙස හඳුනාගැනීම සුදුසුය. තමා අයත් කාර්යය – වටහාගෙන නියමිත සීමාවෙහි පිහිටා ක්‍රියා කිරීම තුළ එම අභියෝගයන් ජය ගැනීම හෝ අවම කර ගැනීමේ හැකියාව භික්‍ෂූන් වහන්සේට ඇති හෙයිනි.
භික්‍ෂූන් වහන්සේගේ කාර්යය ආත්මාර්ථ සාධනය (සබ්බදුක්ඛ නිස්සරණ නිබ්බාණ සච්ඡීකරණත්ථාය) හා පරාර්ථ සාධනය (බහුජන හිතාය – බහුජන සුඛාය) යනුවෙන් දෙපරිදි වේ. එම කාර්යයෙහි අනුපිළිවෙල වන්නේ, පළමුව ආත්මාර්ථ සාධනය (අත්තානමෙව පඨමං) හා දෙවනුව පරාර්ථ සාධනය (අථඤ්ඤමනුසාසෙය්‍ය) යි. සමාජය කෙතරම් සංකීර්ණ වුව ද, නවීකරණය වුව ද, වෙනස් වුව ද, මේ නියමිත කාර්යයෙහි සහ අනුපිළිවෙළහි කිසිදු වෙනසක් විය යුතු යැයි නොපෙනේ. බුදුරදුන් ඉදිරිපත් කළ විවිධ පුද්ගල වර්ගීකරණයන් තුළ ආර්ය අනාර්ය භේදය – විශේෂයෙන් සැළකිය යුත්තකි. එහිදී ලෝකය – ආස්වාදනය කොට එහි ආදීනවය දැන, වටහාගෙන, නිස්සරණයට යොමු වන්නා ආර්ය වශයෙනුත් ලෞකික ආශාවන්ට ගොදුරු වී ලෞකික වූ ඉන්ද්‍රිය – සන්තර්පණයට යොමුව තෘෂ්ණා භරිතව කටයුතු කිරීම අනාර්ය වශයෙනුත් දැක්වේ.
භික්‍ෂුව තෝරා ගත යුත්තේ තෘෂ්ණාධික අනාර්‍ය්‍ය පර්යේෂණය නොව, නිස්සරණය පදනම් වූ ආර්ය පර්යේෂණය බව විවාද රහිතය. එකල – මෙකල යනුවෙන් කාලය පිළිබඳ ප්‍රශ්නයක් එහිදී හට ගන්නේ නැත. ධර්මය අකාලික වන හෙයිනි. භික්‍ෂු චර්යාව ද, ධර්මානුකූල විය යුතු හෙයින් කාලය පිළිබඳ ගැටලුවක් මතු වන්නේම නැත. පරාර්ථ සාධන ක්‍රියාවලියේ දී කාලීන භාෂා මාධ්‍යයන් සහ ප්‍රවාරණ කාර්යයේ උප යුක්ත නවීන තාක්‍ෂණික ක්‍රම භාවිතය පිළිබඳ වෙනසක් ඇති විය හැකි වුව ද, ආත්මාර්ථ සාධනයට අදාළ ධර්මානුගත ක්‍රියාවලියෙහි වෙනසක් ඇති විය නොහැකිය.
සමාජ අසාධාරණය, අයුක්තිය, නීතිය ක්‍රියාත්මක නොවීම, භීතිය, සන්ත්‍රාසය ඉහවහා ගිය නූතන සමාජ ක්‍රියාකාරීත්වය තුළ ආගමික ඉගැන්වීම්, සාරධර්ම නිශ්ක්‍රියත්වයට පත්ව ඇති හෙයින් පන්සල අසරණව ඇත. ආගමික ඉගැන්වීමකින් අපේක්‍ෂා කරනුයේ සමාජය කිසියම් දුරකට සාමකාමී වාතාවරණයක් කරා යොමු කරවීමයි. එහිදී අන්තර් පුද්ගල සම්බන්ධතාවන්හි ධාර්මිකත්වයක් අපේක්‍ෂා කෙරේ. ගෝලීයකරණය තුළ විශ්වීය ආචාර ධර්ම පද්ධතියක් පිළිබඳව අවධාන යොමු කෙරුණු වර්තමානයෙහි ආගමෙහි කාර්යභාරය ඉතා සරළ වූවක් සේ පෙනේ. එහෙත් කෙබඳු ආචාර ධර්ම පද්ධතියක් සමාජ පාලනයෙහිලා උපයේගී කර ගත්ත ද පුද්ගල සන්තානගත අවිද්‍යාවත් (නොදැනුවත් බව) තෘෂ්ණාවත් (රාගය – විවිධ ලාභයන් කෙරෙහි වූ කෑදරකම) විසින් තවදුරටත් මේ විශ්වීය සමාජය තුළ වුව ද විවිධ ගැටුම් නිර්මාණය කරනු ඇත තීව්‍ර කරනු ඇත. එහිදී පන්සලේ කාර්යය වන්නේ සමාජයට අවශ්‍ය ධාර්මික මඟ පෙන්වීම බව අනුශාසනයෙන් මෙන්ම ආදර්ශයෙන් ද බලපෑමක් කිරීම බව විවාද රහිතය.
පුද්ගල සන්තානගත ආවේගයන් පාලනය කිරීම පන්සලේ කාර්යභාරය වුව ද එහිලා භික්‍ෂු ආදර්ශයක් නොවීම බරපතල ගැටලුවකි.
පන්සල මඟින් පුද්ගලයන් තුළ ඇති කෙරෙන ආධ්‍යාත්ම ශික්‍ෂණය සමාජයට විශාල ආශිර්වාදයකි. හැඟීම්, ආවේග පාලනය තුළින් ඇති කෙරෙන එම සැනසීම නූතනසමාජයට – ලෝකයට අද අවශ්‍යව තිබේ. ආගමේ ආදර්ශකයන් ලෙස ඉදිරිපත් වන නායකයන් – නියෝජිතයන් (ආගමික / පූජ්‍ය පක්‍ෂය / පූජකයන්) ආගමික හරයන්, ආගමික ඉගැන්වීම් තම ජීවිත තුළින් පිළිඹිමු කළ යුතුය යි අපේක්‍ෂා කරන්නේ එහෙයිනි.
බුදු දහම සහ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ සම්බන්ධව සළකන විට භික්‍ෂුව ධර්මය ස්වකීය ජීවිත භාවිතය තුළින් ප්‍රකට කළ යුතු බව අනිවාර්ය ලක්‍ෂණයකි. ඒ අනුව භික්‍ෂුවගේ කාර්යභාරය කුමක්දැයි පැහැදිලිය. එය සුවිශේෂී වූ කාර්ය භාරයකි. භීක්‍ෂුත්වය සඳහා කැපවන්නන් තුළ, ඔවුන් කරන මෙන්ම, සමාජය විසින් අපේක්‍ෂා කරන භික්‍ෂූන් වහන්සේ අයත් උන්වහන්සේට උරුම වූ ‘ස්වධර්මය’ ක්‍රියාත්මක විය යුතුය. ඇතැම් නොදැනුවතුන් භික්‍ෂූන් වහන්සේගෙන් උන්වහන්සේ අයත් නොවූ නමුත් ඒ නොදැනුවතුන්ගේ පැවැත්මට අදාළ වූ කාර්ය කොටසක් ද අපේක්‍ෂා කරති. එය විවිධ සංකීර්ණ ගැටලු මතු කරන තත්ත්වයක් බව නූතන සමාජ ක්‍රියාකාරීත්වය තුළ ඉතා පැහැදිලිය.
ගිහි ජීවිතයෙහි අවිවේකී බව, කරදර සහිත බව දැක, පැවිද්දේ නිදහස වටහාගෙන, සියලු දුකින් නිදහස් වීම අරමුණු කොට, භික්‍ෂුත්වයට පත් වූ තැනැත්තා හැම අතින්ම සංවර වූවෙකු (සබ්බත්ථ සංවුතෙන) විය යුතුය. ලාභයට ගිජු නොවිය යුතුය. අර්ථය ද ධර්මය ද දක්වන්නෙකු (අත්ථං ධම්මං ච දීපේති) විය යුතුය. මෛත්‍රී සහගත කාය – වාක් – මනෝ කර්මයන් ඇත්තෙකු විය යුතුය.
ඔහුගේ ජීවිත පැවැත්ම පිරිසිදු (සුද්ධාජීවං) වූවක් විය යුතුය. පිරිසිදු චරිතයක් ඇතිව, ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් බොහෝ දෙනාගේ යහපත, හිතසුව පිණිස කටයුතු කරන්නෙකු විය යුතුය. භික්‍ෂූන් වහන්සේගේ කාර්යභාරය පිළිබඳ දැඩි දෝෂ දර්ෂණයක් – විවේචනයක් වර්තමානයෙහි ඉදිරිපත් වන්නේ උන්වහන්සේ තමා අයත් කාර්යයෙන් ඉවත්ව ක්‍රියා කරන නිසාදැයි සිතා බැලිය යුතුව ඇත. ඒ නිසා තමා හැඳිනගැනීමට භික්‍ෂූන් වහන්සේ තුළ පෙළඹවීමක් ඇති කරලීම ද, තම තත්ත්වය සහ කාර්යභාරය නිසි පරිදි වටහාගෙන ක්‍රියා කිරීමේ වැදගත්කම උන්වහන්සේට සිහිපත් කරලීම ද කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ. භික්‍ෂූන් වහන්සේගෙන් අවශේෂ සමාජය, උන්වහන්සේට අයත් නොවූ විවිධ කාර්යයන් අපේක්‍ෂා කරන හෙයින් උන්වහන්සේගේ කාර්යය ගැන අවශේෂ සමාජය දැනුවත් කරලීම ද කාලීන අවශ්‍යතාවයක් වේ.
බුදුරදුන් වරක් පැවිද්දා විසින් නිතර සිහිපත් කළ යුතු යැයි ප්‍රත්‍යවේක්‍ෂා කළ යුතු යැයි දක්වා සඳහන් කළ කරුණු දහයක් (10) ඇතුළත් දස ධම්ම සූත්‍රය පිළිබඳ සටහනක් මෙහි ඇතුළත් කිරීම සුදුසු යැයි සිතමි. ඒ අනුව භික්‍ෂුවගේ ක්‍රියාකාරීත්වය කෙසේ විය යුතුද යන්න භික්‍ෂූන් වහන්සේටත්, අවශේෂ ලෝකයාටත් යළිත් වරක් සිහිගැන්වෙනු ඇත. සමාජය කෙතෙක් වෙනස් වුව ද නවීකරණය වුව ද, විවිධාකාර නව ආකල්ප සමාජය තුළ පැතිරී ගිය ද භික්‍ෂුවගේ පැවැත්ම එම සමාජයේ යහපතට අදාළ වන අයුරින් ඉදිරිපත් වී ඇති බව එම සූත්‍රයේ සඳහන් කරුණුවලින් පැහැදිලි වේ. සදාතනික වූ දහමක් අනුගමනය කරන අනුගාමිකයන්ගේ ක්‍රියාකාරීත්වය ද සනාතනික – අකාලික ස්වරූපයකින් යුක්ත බව එයින් පෙනේ “වේවණ්ණියම්හි අප්ඣුපගතෝති පබ්බජිතේන අභිණහං පච්චවෙකඛිතබ්බං ” යන සූත්‍රයෙහි සඳහන් පළමු කරුණින් අදහස් කෙරෙන්නේ පැවිදි දිජීවිතයට ඇතුළත්වීමත් සමඟම තමා පෞද්ගලික සංඥාවෙන් මිදුණුකු බව භික්‍ෂුව විසින් සිහිපත් කළ යුතු බවයි. තමන් කිසිදු වර්ණයකට (එකල සමාජ වර්ගීකරණය තුළ වර්ණ (4) හතරක් විය) ජාතියකට, කුලකයට, පක්‍ෂයට, අයත් නොවන පොදු අයෙකු බව අන් හැම හා සමානාත්මතාවයෙන් යුතු වූවෙකු බව නිතර සිහිපත් කළ යුතු බව එහි දැක්වේ.
මෙහි ඉදිරිපත් වන අදහස් නූතන වර්ගවාදී ලෝකය තුළ භික්‍ෂූන් වහන්සේගේ ස්ථාවරය කුමක් විය යුතු දැයි මැනවින් හෙළි කරයි. රට – ජාතිය – ආගම හෝ වෙන කුමන අරමුණක් අරභයා වුව ද, ගැටීම පදනම් කරගත් මානසිකත්වයක් කිසිසේත් භික්‍ෂූන් වහන්සේ නමක් තුළ ඇති නොවිය යුතු බව මෙයින් පෙනේ. සමාජයට මග පෙන්වන්නෙකු ලෙස අනුශාසකයෙකු ලෙස ක්‍රියා කරන භික්‍ෂූන් වහන්සේ හැම දෙනාගේම, (කිසිදු වර්ගවාදී ආකල්පයකින් තොරව) යහපත දියුණුව (සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා) පතන අයෙකි. එබැවින් උන්වහන්සේට ජාතියක්, පක්‍ෂයක් නියෝජනය කළ නොහැකිය. මෙය සර්ව කාලීන අගයකින් යුතු සමාජ ආදර්ශයකයකු පෙර ගමන් කරුවකු තුළ අනිවාර්යයෙන් තිබිය යුතු ගුණාංගයක් ස්වභාවයක් ලෙස මානව හිතවාදී – සබ්බසත්ත භූුත – හිතානුකම්පී ජීව භක්තිවාදී බුදධිමත් ලෝකය පිළිගනු ඇත.
සාමාන්‍ය ලෝකයා විවිධ අරමුණු – රුචි අරුචිකම් අනුව පක්‍ෂ, කණ්ඩායම්වලට බෙදී වාද විවාද කරති. තම පක්‍ෂය, කණ්ඩායම කෙරෙහි ඇල්මෙන් මනාපයෙන්, (ස්වපක්ෂෙ විද්‍යතෙ රාගඃ) අනෙක් පක්‍ෂය – විරුද්ධ පක්‍ෂය කෙරෙහි ගැටීමෙන්, ද්වේශයෙන් (පරපක්‍ෂෙතු අප්‍රියඃ) ඒ බෙදීම් නිසා ඇතිවන අයුරු ස්වභාවිකය. එබඳු වර්ගවාදී ගැටුම් සහිත ලෝකයට අනුශාසනා කරන ආදර්ශනය සපයන භික්‍ෂුව, එම වර්ගවාදී චින්තනයෙන් මිදුණු අයෙකු බව නිතර සිහිපත් කළ යුතු යැයි දැක්වීමෙන් භික්‍ෂුවගේ කාර්යභාරය කෙතරම් ගැඹුරු – පුළුල් වූවක්දැයි සිතාගත හැකිය. ඒ අනුව නූතන භික්‍ෂු චර්යාවෙහි සහ ආකල්පයන්හි කිසියම් වෙනසක් අවශ්‍ය බව ඉතා පැහැදිලිය. සාමාන්‍ය ලෝකයා සිතන පතන ආකාරයෙන් මිදී තමා කවරෙක්දැයි නිසි පරිදි වටහාගෙන සිය නියමිත කාර්යයෙහි නැවත පිහිටා ක්‍රියා කිරීමට අවහ්‍ය බව භික්‍ෂූන් වහන්සේ තරයේ සිහියට ගත යුතුය. එසේ නොවන කල ශුද්ධ වූ, පරමාදර්ශී වූ, භික්‍ෂු ප්‍රතිරූපයට සිදුව ඇති හා සිදුවෙමින් පවතින දරුණු හානිය ප්‍රතිශෝධනය නොවනු ඇත.
රට බේරා ගැනීම, ජාතිය බේරා ගැනීම, ශාසනය බේරා ගැනීම භික්‍ෂූන් වහන්සේගේ අද යුගයේ කාර්යභෘරය යැයි ඇතැම්හු බණ දෙසති. රටක්, ජාතියක්, ආගමක්, බේරා ගැනීම, ආරක්‍ෂා කිරීම, භික්‍ෂූන් වහන්සේට අයත් කාර්යයක් නොවේ. ශාසනය (බුදු දහම) ආරක්‍ෂා වන්නේ එය ජීවිතයට පුරුදු කිරීමෙනි. අනුගමනය කිරීමෙනි. එය රැකගත යුත්තේ එහි භාරකරුවන් – උරුමකරුවන් යැයි කියමින් එය තම ජීවිත ක්‍රියාකාරීත්වය තුළ භාවිතය තුළ ක්‍රියාත්මක නොකරන්නන් ගෙනි. එහෙයින් භික්‍ෂූන් වහන්සේ මේ කිසිවක් බේරාගත යුතු නැත. උන්වහන්සේ තමන් අයත් කාර්යයෙහි කළ යුත්තේ මේ තමාට අයත් නැත, තම ආත්මය චරිතය කිළිටි කරන – නසන මේ කටයුතුවලින් ඉවත්ව තම ආත්මය බේරා ගැනීම ගැනීමය, රැක ගැනීමය. (අත්තං ගුත්තං සුඛාවහං) තමා අයත් කාර්යයෙහි උන්වහන්සේ නිරත වන්නේ නම් එයින් ආත්මාර්ථය ද පරාර්ථය ද දෙකම සිදුවනු ඇත. මෙහි සිදුව ඇත්තේ භික්‍ෂු කාර්යය දේශපාලනීකරණය වීමකි. දේශපාලනකයන් සිය පැවැත්ම වෙනුවෙන් භික්‍ෂුව උපයෝගී කර ගැනීම තුළ ලාභයට ගිජු වූ භික්‍ෂුව එහි නිරත වීමත් සිය නියමිත කාර්යය අමතක කර දැමීමත් ඒ හරහා පොදු භික්‍ෂු සමාජය අභියෝගයට අවමානයට ලක් කිරීමත්ය.
රට – ජාතිය – ආගම රැක ගැනීමට කෙනෙකුට අවශ්‍ය නම් ඒ කාර්යයන් පැවරුණු ආණ්ඩුවක්, ආරක්‍ෂක හමුදාවක්, නීතියක් ලෞකික සමාජය තුළ පවතී. භික්‍ෂූන් වහන්සේ කළ යුත්තේ ජාති, ආගම්, කුල, පක්‍ෂ, වර්ග වෙනුවෙන් අන්ධව පොරට වැටී සිටින සියලු ආකාරයේ ලෝභයන්ගෙන් උමතුව, ද්වේෂයෙන් දූෂිතව, මෝහයෙන් මුළාව කටයුතු කරන, නොදැනුවතුන්, නොමිනිසුන් – දැනුවතුන්, මිනිසුන් කිරීමට සත්‍යය හෙළිදරව් කරලීමට සහායවීමත්, මේ සියලු ආකාරයේ ගැටුම් නිවාරණය කිරීමෙහි යෙදීමත් පමණි. පරාර්ථ සාධනය (බහුජන හිතාය) යනු එයයි. නීතියක් නැති රටක, නීතිය ක්‍රියාත්මක නොවන රටක, එය ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කිරීමේ හැකියාවත් – නීතියේ ආධිපත්‍යය රට තුළ තහවුරු කරන ලෙස රජයට බලපෑම් කිරීමත් භික්‍ෂූන් වහන්සේට කළ හැකිය. එහෙත් පක්‍ෂ දේශපාලනයෙහි නිරත භික්‍ෂූන්තමන්ගේ ලාභය පිරිහෙතැයි බියෙන් එසේ සත්‍ය හෙළිදරව් නොකරති. මෙය මෙබඳු රටකට මහත් ඛේදවාචකයකි. රටේ ආරක්‍ෂාවත්, මහජනයාගේ ආරක්‍ෂාවත් සැළසීමේ සම්පූර්ණ වගකීම ඇත්තේ ඒ රටේ රජයටය. වෙනත් අයෙකුට ඇඟිල්ල දික් කිරීමට, වගකීම පැවරීමට – තම වගකීමෙන් නිදහස් වීමට රජයට නොහැකිය. තමන්ට එය කළ නොහැකි නම් එය අවංකව රටට – මහජනයාට කීම ද ඒ රජයේ යුතුකමය. වෙනත් මොනවා හෝ මවාපාමින් සිය වගකීම – යුතුකම නොතකා හැරීම බරපතල වරදකි. උගතුන් විශේෂඥයන් ජාතියේ මුර දේවතාවුන් ශාසන භාරධාරීන් ලෙස පෙනී සිටින ඇතැම් නොදැනුවතුන් බුදුරදුන් දෙසූ මඟට එරෙහිව භික්‍ෂුවගේ කාර්යය මෙය යැයි විවිධ තර්ක ඉදිරිපත් කරද්දී ඇතැම් භික්‍ෂූන් අන්දමන්දව තමා අයත් කාර්යය කුමක්දැයි විසඳා පහදා වෙන් කොට දැන ගැනීමට නොහැකිව අතරමංව සිටින සැටියක් නූතන තරුණ භික්‍ෂු සමාජයේ ක්‍රියාකාරීත්වය දෙස බැලීමෙන් පෙනේ. භික්‍ෂූන් වහන්සේ නිතරම බුදුරදුන් තමන් වෙත පහදා දුන් ධර්මය ද විනය ද ගුරු කොටගෙන කටයුතු කරනු විනා රජුන්, ඇමතියන්, දේශපාලකයන්, ඊනියා උගතුන් ශාසන භාරධාරීන් තමන් වෙත පැවරූ , පවරන කාර්යයන් පිළිබඳ වෙහෙස විය යුතු නැත. ජාතිභේද වාදයට ආගම් භේද වාදයට සම්මාදන් වීම, ආශිර්වාද කිරීම කිසිසේත් සැබෑ භික්‍ෂුවකට අයත් කාර්යයන් නොවන බව කල්පනා කළ යුතුය. රට බේරා ගැනීම ඓතිහාසිකව තමන් වෙත පැවරුණු කාර්යයන් යැයි ඇතැම් භික්‍ෂූන් පවසන්නේ භික්‍ෂුවට අයත් කාර්යය කුමක්දැයි නිසි පරිදි වටහාගෙන නොවන හෙයින් බවපෙනේ. භික්‍ෂුන් වහන්සේ කළ යුත්තේ ජාතිය – ආගම පදනම් කරගත් යුධ ගිනි නිවීමට මිනිස් ජීවිත ආරක්‍ෂා කරීමට, දුරාචාරයට ගොදුරු වන දේශයේ දරුවන් රැක ගැනීමට මඟ පෙන්වීමය. අනුශාසනා කිරීමය.
භික්‍ෂූන් වහන්සේ පළමු කොට ධර්මයෙහි යුක්තියෙහි පිහිටා, සිය – කාර්යය මැනවින් වටහා ගෙන රටට, මහජනයාට විපතක් සිදුවන්නේ නම්, හානියක් සිදුවන්නේ නම් එය අවංකව පැහැදිලි කර දිය යුතුය. ජනතාවගේ විපතට, සැපතට හේතු නොසඟවා හෙළිදරව් කළ යුතුය. පක්‍ෂ දේශපාලනයෙහි යෙදෙන භික්‍ෂූහු එසේ නොකරති. ඔවුහු සිය වාසිය ආත්ම ලාභය පිණිස ජනයා නොමඟ යවති. රවටති. බොරු කියති. රටට සිදුවන හානිය හෙළිදරව් නොකරති. රටට, ජනතාවට, ව්‍යසනයක් සිදුවන පරිදි කටයුතු කරති. සැබෑ භික්‍ෂු නායකත්වයක් මේ රටේ ඇති කොට, භික්‍ෂුවට පක්‍ෂ දේශපාලනය තහනම් කළ යුතුය. භික්‍ෂු වේශයෙන් හා නාමයෙන් පමණක් පෙනී සිටින ඇතැම් පිරිසක් මෙසේ ආත්ම ලාභය තකා දහමත්, භික්‍ෂුත්වයත් පාවා දී කටයුතු කරන අතර, තවත් පිරිසක් ධර්මවාදීව මහජනයාට සැබෑ තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරති. මේ අනුව උන් වහන්සේ හමුවේ ඇති අභියෝග කවරේද? යනු වටහා ගැනීම අසීරු නැතැයි සිතමි.
තමා හදෙකලා සත්වයෙකු නොවන බවත්, තමන් සමාජය හා ප්‍රතිබද්ධ බවත් භික්‍ෂූන් වහන්සේ නිතර සිහිපත් කළ යුතුය. එය භික්‍ෂුව සතු කාර්යයේ මූලික ලක්‍ෂණයකි. තම ජීවිතාදර්ශය සමාජයට බලපාන්නක් බව නිතර සිහිපත් කළ යුතු බව එයින් කියැවේ. භික්‍ෂූන් වහන්සේ සමාජගත ලෞකික අපේක්‍ෂාවන්ගෙන් ඉවත් වූවෙක් මිස, සමාජයෙන් වියුක්ත වූවෙක් නොවේ. ලෝකයා වෛරීව කටයුතු කරන අතර, භික්‍ෂුව මෛත්‍රී සහගතව වෙසෙයි. ලෝකයා ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන අතර, භික්‍ෂුව අන් සැපත ඉවසයි. ලෝකයා ලෝභීව ලාභාපේක්‍ෂාවෙන් කටයුතු කරන අතර, භික්‍ෂුව එයින් නිදහස්ව, එහි ආදීනවය ජනතාවට පහදා දෙමින් වෙසෙයි. අවශේෂ ලෝකය හා භික්‍ෂූන් වහන්සේ අතර මේ වෙනස පහදා – වටහා ගත යුතුව තිබේ. එය ක්‍රියාත්මක භික්‍ෂු ජීවිත භාවිතාවෙන් සනාථ කළ යුතුව තිබේ.
තමන්ගේ ආකල්ප, ඇවතුම් පැවතුම් ගිහි සමාජයෙන් වෙනස් බව පැවිද්දා නිතර සිහිපත් කළ යුතුය. සාමාන්‍ය ලෝකයා හිතන පතන ආකාරයෙන් භික්‍ෂුව හිතන්නේ නැත. ඇතැම්හු භික්‍ෂු චර්යාව හා ගිහි චර්යාව අතර වෙනසක් නොදකින්නේ භික්‍ෂුවගේ ඉහත කී ආකල්ප වර්ධනයක් නොමැති හෙයිනි. භික්‍ෂුව, ගිහි සමාජ අනුකාරකයෙකු ලෙස හැසිරීම තුළ ඇතිවන ගැටලුව ඉතා බරලපතලය.
භික්‍ෂුවගේ බාහිර ස්වරූපය, පරිහරණය කරන උපකරණ ආදිය වුව ද එසේ දක්වා ඇත්තේ පළිබෝධ උවදුරු අවම කරනු පිණිස ය. හිස, රැවුල් බෑම, සිවුරු පාත්‍ර පරිහරණය පිඬු සිඟීම, සරල පවැත්ම, භික්‍ෂුත්වය – කරදරයකින් තොරව පවත්වා ගෙන යාමට විශේෂිතව දේශනා කොට ඇති දේ ලෙස හැඳිනගත යුතුය. ආකල්ප සම්පත්තිය නොපැහැදුනවුන්ගේ පැහැදීම පණිසත්, පැහැදුනවුන්ගේ ප්‍රසාදය වැඩි දියුණුවීම පිණිසත් සකස් කොට ගත යුතු බව දක්වා ඇත. සාමාන්‍ය ගිහි සමාජය සිතන ආකාරයෙන් මිදී භික්‍ෂුවට අනුරුප චින්තනය දියුණු කිරීම වඩාත් ඵලදායී බව ‘අඤෙඤා මෙ ආකපෙපා කරණියො” යන ඉගැන්වීමෙන් පෙනේ. සමාජය කෙතෙක් වෙනස් වුව ද මෙම ආකල්පයෙහි වටිනාකම, සර්වකාලීන බව භික්‍ෂු චර්යාවේ වර්තමාන ස්වරූපය විමසීමෙන් පැහැදිලි වේ.
මගේ සිත, මට, මගේ දුශ්හීලභාවය හේතුකොට ගෙන අපවාද කෙරේදැයි භික්‍ෂුව නිතර මෙනෙහි කළ යුතුය. මෙයින් අදහස් කරන්නේ භික්‍ෂුව, තමා අයත් කාර්යය කරන්නේ ද? එයින් බැහැරව ක්‍රියා කරන්නේ දැයි නිතර විමසිය යුතු බවයි. භික්‍ෂුවට නියමිත පිරිය යුතු පිළිපැදිය යුතු ශිලාදී ගුණධර්ම සමූහයක් වේ. එහි ඇලී ගැලී කටයුතු කරන්නේද? භික්‍ෂුත්වය කෙළෙසන වෙනත් මගකට යොමුවී සිටින්නේ ද? යනු විමසා බැලීම මෙහි අරමුණ වේ. තමාගේ ශීලයෙහි – ගුණයෙහි ධර්මානුකූල ප්‍රතිපත්තියෙහි දුර්වලකමක් විද්‍යමාන වේදැයි, තමා අනුන්ගේ දේෂාරෝපණයට ලක්වූවෙක්දැයි නිතර සොයා බැලිය යුතු බව එයින් කියැවේ. වර්තමාන භික්‍ෂුව, මෙසේ තම අඩුපාඩුකම් දුර්වලකම් ගැන සංවේදීව ක්‍රියා කරන්නේ ද? වර්තමාන කාමභෝගී සමාජයෙහි භික්‍ෂූන් වහන්සේගේ තත්ත්වය මැනෙන්නේ ගුණ ධර්ම හෝ ආධ්‍යාත්ම දියුණුව මතද? ධනය – සැප – සම්පත් වැනි කාමභෝගී ගිහි සමාජය තක්සේරු කෙරෙන මිනුම මතද? යනු සිතා බැලිය යුතුය.
නූතන සමාජයෙහි අභියෝගයට ලක්වන්නේ ශිලාදී ගුණධර්මයන්ගෙන් පිරිහුණු තමා අයත් කාර්යය වූ භික්‍ෂූත්වයට අදාළ ක්‍රියාවන්ගෙන් වැළකී කාමභෝගී ජීවිතයට හුරු වූ පක්‍ෂ දේශපාලනයෙහි නියුතු මහාජනයා මුලාවට පත්කරන, සත්‍ය වසන් කරන භික්‍ෂූන් මිස, සැබෑ භික්‍ෂූන් නොවෙතැයි ඇතැමෙක් තර්ක කරති. ඒ පිළිබඳව ද අවධානය යොමු කළ යුතු වේ. එය එසේ වුව ද එම සුළුතරයේ සමාජ භාවිතය විසින් සමස්ත භික්‍ෂු සමාජයට සිදු කරන හානිය සුළු පටු නොවන බව සිතිය යුතුය. භික්‍ෂූන් වහන්සේ මෙනෙහි කරන්නේ තම ශීලය – ගුණය සපුරාලීම සම්බන්ධව ද, නොඑසේ නම් ඊට හාත්පසින්ම වෙනස් වූ උපභෝග – පරිභෝග සම්පත් හා සන්තකයන් සංවර්ධනය පිළිබඳ ද යන්න මෙහිදී මතුවන ගැටලුවයි. ගැටලු මතු කරන මගින් ඉවත්ව, ගැටලු නිවාරණය කරන මග අනුගමනය කිරීම භික්‍ෂුව සතු කාර්යය විය යුතුය. භික්‍ෂූන් වහන්සේ ගිහි සමාජය හා තරඟකාරීව ක්‍රියා කිරීමේ, ගිහි සමාජයට අනුරුපව ක්‍රියා කිරීමේ ආකල්පය වෙනස් විය යුතුය. භික්‍ෂුව තුළ ආකල්පමය වෙනසක් ඇති නොකොට මේ දුර්වලකම සකස් කළ නොහැකිය. සමාජ වෙනස්වීම තුළ භික්‍ෂුවගේ දුර්වල සාම්ප්‍රදායික මතවාදයන් හා ආකල්පයන් බැහැර කොට, ධර්මානුකූල – විනයානුගත මනා පැවැත්මක් සඳහා ගිහි සමාජය කෙරෙහි කාරුණික වූ මෛත්‍රි සහගත ආකල්පයක් සංවර්ධනය කළ යුතුව ඇත. එවිට භික්‍ෂුව තරගකාරී සමාජ ප්‍රවාහයෙන් මිදී තමා අයත් ස්ථානයෙහි ස්ථානගත වනු ඇත.
දිවා රාත්‍රී දෙකෙහි තම කාලය ගෙවී යන්නේ කෙසේදැයි පැවිද්දා විසින් නිතර මෙනෙහි කළ යුතු යැයි බුදුරදුන් දක්වා ඇත. තම ජීවිතය ධර්මානුකූලව ධර්මගරුකව විනයානුගතව ගෙවී යන්නේද? ධර්ම විනය විරෝධීව, දුෂ්ප්‍රතිපත්තීන්ට නැඹුරුව ගෙවී යන්නේදැයි ඥානවන්ත පැවිද්දා නිතර සිහිපත් කළ යුතුය. එවිට ඔහුට තම පැවැත්ම නිවැරදි කර ගැනීමට අවස්ථාවක් සැලසේ. තම ජීවිතය අර්ථ විරහිතව පරපීඩකව ගෙවී යන්නක් නම්, ඒවා දැන දැක අර්ථවත්ව – ජනතා යහපත පිණිස පරාර්ථය පිණිස යොමු කිරීමට අවස්ථාව සළසා ගත හැකිය. අවධානය යොමු කළ හැකිය. නිතර සිහියෙන් දවස ගත කරන පැවිද්දාට ජීවිතයේ සිදුවන හානිය – වර්ධනය, යහපත – අයහපත පෙනේ. ඒ අනුව තමාගේ අධ්‍යාත්ම දියුණුව හෝ පරිහානිය දෛනිකව සළකා බැලිය හැකිය. තමා සිය අරමුණින් බැහැරව යන්නේ නම් ඒ පිළීබඳ දැනුමක් ඔහුට ඇතිවේ. එවිට එය නිවැරදි කරගත හැකිය. තමා කය පමණක් පැවිදි කළ පැවිදි ප්‍රතිරූපකයෙක් ද? කය මෙන්ම සිත ද පැවිදි කළ නියම භික්‍ෂුවක්දැයි නිතර සිහි කළ යුතු දැයි දක්වා ඇත. සංකීර්ණ සමාජයක වෙසෙන, භික්‍ෂුවක් වුව ද, ධර්ම – විනයානුතූලව ඉහත ක්‍රියාවලියට අනුරූපව තම ජීවිතය ගෙවන්නේ නම් ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි පෞරුෂයක් ගොඩ නගා ගත හැකි වන්නේය.
වත්මන් භික්‍ෂු සමාජය දෙස පරීක්‍ෂාවෙන් බැලීමේ දී ඇතැමෙක් කය පමණක් පැවිදි කොට ගෙන ගිහි චර්යාවෙන් කල් ගත කරති. ඔවුන් පැවිදි සමාජයට පිළිලයකි. ඔවුහු එම සමාජය ද දූෂණය කරති. පැවිදි සමාජය කෙරෙහි ඇති යහපත් ආකල්පය ද බිඳ දමති. භික්‍ෂූත්වය පිළිබඳව ඇති පරමාදර්ශි රූපය විනාශ කරති. ඔවුහු ජාතිභේදවාදයට ආ වඩති. ආශිර්වාද කරති. සමහරු සිවුරු පොරවා ගෙනම ගැටුම් නිර්මාණය කරන ක්‍රියාවලියට ඉදිරිපත් වෙති. එබැවින් සමාජ වෙනස්වීම තුළ භික්‍ෂූන් වහන්සේට බරපතලම අභියෝගය වන්නේ මේ භික්‍ෂු ප්‍රතිරූපකයන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන්ට මුහුණ දීමය. ඔවුන් භික්‍ෂු සමාජයට සිදුකරන බරපතල හානියට පිළියම් සෙවීමය. එබැවින් භික්‍ෂු විනය පිළිබඳව සංවාදයක් ඇති කොට, කතිකාවතක් සකස් කරවා, පැවිදි ප්‍රතිරූපකයන් භික්‍ෂු සමාජයෙන් බැහැර කරවීමට කටයුතු කළ යුතුව ඇත. නොදැනුවත් ගිහි මහජනයා, විශේෂයෙන් අවස්ථාවාදී බලලෝභීන් මේ භික්‍ෂු ප්‍රතිරූපකයන් පොළඹවා ගනිති. තම වාසිය පිණිස ඕනෑම දෙයක් කිරීමට සූදානමින් සිටින ඔවුන්ට නොකළ හැකි පාපයක් නැත. මේ අනුව අනාගතය හමුවේ භික්‍ෂුවට ඇති අභියෝගය කුමක්දැයි හැඳින ගත යුතුව තිබේ.
මේ අනුව, සමාජ වෙනස්වීම තුළ භික්‍ෂූන් වහන්සේ හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය ලෙස හැඳිනගත යුතුව ඇත්තේ ප්‍රමාණවත් ධර්ම ඥානයක් නොමැති බව සහ භික්‍ෂුත්වයට අවශ්‍ය ශික්‍ෂණයක් නොමැති බවය. භික්‍ෂූන් වහන්සේට ධර්ම ඥානය ලැබෙන භික්‍ෂු අධ්‍යාපන ක්‍රමයක් නොවීම ඊටත් වඩා බරපතල අභියෝගයකි.
භික්‍ෂු ශික්‍ෂණය ලැබෙන්නේ ධර්මය තුළිනි. ධර්මය නොදන්නා තුළ ශික්‍ෂණයක් අපේක්‍ෂා කළ නොහැකිය. ඒ සඳහා භික්‍ෂුව තමා කවරෙක්දැයි හැඳින ගත යුතුය. ගැඹුරු ධර්ම ඥානයක් නොලබන භික්‍ෂුවට අනාගත අභියෝගයන්ට මුහුණ දිය නොහැකිය. භික්‍ෂුව ධර්මධර විය යුතුය. ධර්මානුධර්ම ප්‍රතිපන්න විය යුතුය. තමන්ගේ අඩුපාඩු තමන් විසින්ම බලා තමාට චෝදනා කරගත යතුය. තමා හරිහැටි මහණදම් පුරන්නේ දැයි තමන් විසින්ම බලා තමන්ට චෝදනා කර ගත යුතුය. ඒ අනුව භික්‍ෂුවගේ කාර්යය විය යුත්තේ තම පැවැත්ම නිවැරදි කර ගැනීම, දහම් දැනුමෙන් පෝෂණය වීම, ආදර්ශවත් චරිතයෙන් යුතුව සමාජය කෙරෙහි සමානාත්මතාවයෙන් සියලු ජනයාගේ යහපත පිණිස ක්‍රියා කිරීම බව පෙනේ.
විශේෂයෙන් භික්‍ෂූන් වහන්සේ තෘෂ්ණාහරිත ලෝකයෙහි ගොදුරක් නොවිය යුතුය. කාම සංකල්පනා වන්ගෙන් යුතු ලෝකය නිතර ගැටුම් නිර්මාණය කරයි. ඒවා නිවාරණයට අවශ්‍ය මග පෙන්වීම, අනුශාසනය භික්‍ෂුවගෙන් සිදුවිය යුතුය. ඒ සඳහා උන්වහන්සේ අනාතුරු ව සිටිය යුතු වේ. භික්‍ෂුව ද ජාතියක්, පක්‍ෂයක් වර්ගයක් වෙනුවෙන් සටනට වැද පාපී චේතනාවන්ගෙන් ආතුරව වෙසෙත් නම්, අනිකකු වෙනුවෙන් මග පෙන්විය නොහැකිය. මේ අනුව සමාජ වෙනස්වීම් තුළ භික්‍ෂු චර්යාවේ ඇතිවන විපර්යාසයන් නිසා හට ගන්නා අභියෝගයන්ට මුහුණ දිය හැක්කේ භික්‍ෂු චර්යාව මෙන්ම ධර්ම විනයධරභාවය ද ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් පමණි. ධර්ම සන්නිවේදන මධ්‍යස්ථානයක් හැටියට පන්සල යොදා ගැනීමෙන් ද භික්‍ෂූන් වහන්සේට ධර්ම විනය ඥානය ප්‍රමාණවත් පරිදි ලබාදීම සඳහා භික්‍ෂු අධ්‍යාපන පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීමෙන් ද , මහ ජනයාට ලෞකික ජීවිතය ජය ගැනීම සඳහා වන මග පෙන්වීම ද නූතන පන්සලේ කාර්යභාරය ලෙස ඉටු කරන්නේ නම් මෙම කාලීන අභියෝගයන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් ජයගත හැකිවනු ඇත.
නිනායේ ආදි කර්තෘන් අනුස්මරණය කෙරෙන මේ අවස්ථාවේ දී ඒ උතුමන්ගේ අභිප්‍රායයන් හඳුනාගෙන සසුන ගොඩගැනීමේ උදාර අරමුණින් අප්‍රතිහත ධෛර්යයෙන් සති සම්පජක්‍ද්ක්‍දයෙන් යුතුව ක්‍රියා කිරීම අප සැමගේ අධිෂ්ඨානය විය යුතුය. සැබෑ ආදි කර්තෘ උපහාරය වන්නේ එය යි.
‘චිරං තිට්ඨතු ලෝකස්මිං – සම්මා සම්බුද්ධ සාසනං’

පූජ්‍යතර මහාචාර්ය අත්තංගනේ රතනපාල මහා ස්ථවිර

අධිකරණ ලේඛකාධිකාරී,

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය