ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පරිපාලන ව්‍යුහයේ ප්‍රධාන නායක පදවිය වන අති පූජ්‍ය මහනායක පදවියට අනතුරුව ඇති ප්‍රධාන තනතුරක් වන්නේ අධිකරණ නායක පදවිය යි. 2012 වසරේ සිට වසර 8 ක් අධිකරණ නායක පදවිය හෙබවූ අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නාහිමිපාණන් වහන්සේගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අධිකරණ නායක පදවියට පසුගිය දිනක මහාචාර්ය රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය අත්තංගනේ රතනපාලාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ අභිනවයෙන් තේරී පත් වූහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය අධිකරණ නායක පදවිය

ක්‍රි.ව. 1863 දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය සෙසු නිකායවලින් ද නොයෙක් භික්ෂූන් වහන්සේලා එක් වෙමින් ක්‍රමයෙන් ව්‍යාප්ත වන විට එහි පරිපාලනය පහසු කර ගැනීම පිණිස කතිකාවත් සම්මත කරගැනීම් ආදිය සිදු වූ අතර ඊට සුදුසු නිලතල ආදිය හා ඊට හිමි කාර්යභාරය ද සම්මත විය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ දෙවන මහනායක පදවිය හෙබවූ අති පූජ්‍ය දීපේගොඩ සීලක්ඛන්ධ මහනාහිමියන්ගේ  පාලන කාලය (1887 -1916) තුළ ඒ ඒ ප්‍රදේශවල ඇතිවන අධිකරණ විසඳීම සඳහා ‘ප්‍රාදේශීය අධිකරණ විනිශ්චය සභාව’ නමින් විනිශ්චය සභාවක් පත් කරන ලදී.

නිකාය ඉතිහාසය අනුව ප්‍රථම වරට අධිකරණ නායක පදවියක් සම්මත කරන ලද්දේ අතිපූජ්‍ය ඕබඩකන්දේ විමලානන්දතිස්ස මහනායක මාහිමිපාණන්ගේ පාලන කාලයේ (1917-1924) දී ය. මේ වන විට බහුශ්‍රැත ධර්මධර, විනයධර මහතෙර නමක් ලෙස සම්භාවනාවට පාත්‍රව සිටි අතිපූජ්‍ය සිරි සද්ධම්මාචරිය මාතර ඤාණින්දාසභ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ක්‍රි.ව. 1921 වර්ෂයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ප්‍රථම අධිකරණ නායක පදවියට පත් වූහ. එතැන් සිට මේ දක්වා අධිකරණ නායක හිමිවරුන් දොළොස් නමක් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය පෝෂණය කළහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය ව්‍යවස්ථාවට අනුව ස්ව නිකායික භික්ෂූන් අතර සම්භාවනාවට පාත්‍ර වූ හිමිනමක් අධිකරණ නායක පදවියට පත් විය යුතු අතර උන්වහන්සේ භික්ෂූන් වහන්සේලා අතර නායකත්වය ගෙන ක්‍රියා කිරීමට සමර්ථ අයෙක් විය යුතුය. එසේ ම ධර්ම විනය පිළිබඳ බහුශ්‍රැත භික්ෂුවක් විය යුතු අතර ශ්‍රමණ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ වූ ස්වනිකායික සම්ප්‍රදායයන් හා ආකල්ප සම්පත්තිය ඉතා ගරුත්වයෙන් ආරක්ෂා කරන හා ස්වනිකායික ශාසන පරම්පරාව පිළිබඳ මනා අවබෝධයකින් යුත් මහ තෙරනමක් විය යුතුය. තව ද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ව්‍යවස්ථාවේ 97 වන වගන්තිය අනුව අධිකරණ නාහිමියන් වහන්සේ උපසම්පදාවෙන් වස් 40 කට නො අඩු විය යුතු අතර නිකායේ ජ්‍යෙෂ්ඨ හෝ උපරිමානුවිජ්ජක පදවි, මහා ලේඛකාධිකාරී, අධිකරණ ලේඛකාධිකාරී, සඤ්ඤා ලේඛකාධිකාරී හෝ නිලධාරි පදවිවල වසර 15කට නො අඩු කාලයක් සේවය කළ අයෙක් විය යුතුය. එසේ ම ව්‍යවස්ථාවේ 102-2 වගන්තිය අනුව නිකායේ සංඝාධිකරණ කටයුතු පිළිබඳ අත්දැකීම් බහුල මහ තෙරනමක් විය යුතුය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය ඉතිහාසයෙහි වැඩ විසූ අධිකරණ නායක හිමිවරු

  1. අතිපූජ්‍ය සිරි සද්ධම්මාචරිය මාතර ඤාණින්දාසභ නාහිමිපාණන් වහන්සේ (1921-1925)
  2. ශාසනවංශ කවිධජ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය අතිපූජ්‍ය කෝදාගොඩ උපසේන නාහිමිපාණන් වහන්සේ (1925-1934)
  3. ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ශාසනධජ පණ්ඩිතාචාර්ය අතිපූජ්‍යය මාතලේ සිරි ධම්මසිද්ධි නාහිමිපාණන් වහන්සේ (1938-1940)
  4. අග්ගමහාපණ්ඩිත ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය අතිපූජ්‍යය හිස්සැල්ලේ සිරි ඤාණෝදය නාහිමිපාණන් වහන්සේ (1946-1954)
  5. ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය විනය කීර්ති ශ්‍රී අතිපූජ්‍ය මුල්ලේගම සිරි සීලාලංකාර නාහිමිපාණන් වහන්සේ (1954-1966)
  6. රාජකීය පණ්ඩිත විද්‍ය විශාරද ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ශාසනවංශ කවිධජ සිරි ධර්මාචරිය අතිපූජ්‍යය ඉඳුරුවෙ උත්තරානන්ද නාහිමිපාණන් වහන්සේ (1966-1976)
  7. දර්ශන චක්‍රවර්තී ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය පණ්ඩිත අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ නාහිමිපාණන් වහන්සේ (1976-1981)
  8. රාජකීය පණ්ඩිත ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ශාසනසෝභන ශ්‍රී සරණංකර වංශාවතංස ප්‍රවචන විශාරද අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍යය පොත්තේවෙල පඤ්ඤාසාරාභිධාන නාහිමිපාණන් වහන්සේ (1981-1986)
  9. මහාචාර්ය අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤානාවාස නාහිමිපාණන් වහන්සේ (1986-1987)
  10. ශ්‍රී සද්ධර්ම වාගීශ්වරාචාර්ය සිරි සරණංකරෝපසේන වංශාවතංස අග්ගමහා සද්ධම්මජෝතිකා ධජ අතිපූජ්‍යය වේවැල්දෙනියේ මේධාලංකාර නාහිමිපාණන් වහන්සේ (1987-1988)
  11. රාජකීය පණ්ඩිත ත්‍රිපිටක වාගීශ්වර ශ්‍රී සීලවංශ වංශාලංකාර විනය විශාරද අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍යය නාපානේ පේමසිරි නාහිමිපාණන් වහන්සේ (1988-2012)
  12. ධර්මකීර්ති ශ්‍රී සිරි සරණංකරෝපසේන වංශාවතංස ශාසන ශෝභන අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නාහිමිපාණන් වහන්සේ (2012-2020)

අභිනව අධිකරණ නායක පදවියෙන් පිදුම් ලැබූ රාජකීය පණ්ඩිත මහාචාර්ය අතිපූජ්‍ය අත්තංගනේ රතනපාලාභිධාන නායක මාහිමිපාණෝ

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සම්භාවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ගෞරවයට හා ප්‍රසාදයට පත්ව, ස්වකීය පැවිදි ජීවිතය ධර්ම-විනය ශබ්ද ශාස්ත්‍ර ඥානයෙන් හා භික්ෂු ප්‍රතිපදාවෙන් ද ආකල්ප සම්පත්තියෙන් ද පෝෂණය කොට ගත් වර්තමාන භික්ෂූ සමාජයේ තුන් නිකායෙහි ම ගෞරවයට හා සම්භාවනාවට පාත්‍රව කටයුතු කරන, භික්ෂු ප්‍රතිපත්ති සංවර්ධනයෙහි ද භික්ෂූ ආකල්ප පෝෂණයෙහි ද නිකායේ අධිකරණ ක්ෂේත්‍රයේහි ද පුළුල් අවබෝධයක් සහිතව දැඩි ශාසනික හැඟීමෙන් කටයුතු කරන මහාචාර්ය, රාජකීය පණ්ඩිත අත්තන්ගනේ රතනපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අධිකරණ නායක ධූරයට පත්විය.

1988 සිට ප්‍රාදේශීය සංඝ සභා ලේකම්වරයෙකු ලෙස ද 1993 සිට වසර 27 ක් කාරක සංඝ සභිකවරයෙකු වශයෙන්ද ජෙට්ඨානුවිජ්ජක, උපරිමානුවිජ්ජක, ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සාමාජිකයෙකු වශයෙන්ද ප්‍රතිපත්ති සංවර්ධන සභා ලේඛක, ශාසනික ගැටළු කළමනාකරණ කමිටුවේ ප්‍රධාන සංවිධායක, නිකායාභිවෘධිය සඳහා පත් කළ විවිධ කමිටු වල සාමාජිකයකු වශයෙන් ද අධිකරණ ලේඛකාධිකාරින් වහන්සේ වශයෙන් ද නිකායාභිවෘද්ධියට හා ශාසන චිරස්ථිතිය ට අදාලව සුවිශාල සේවාවක් සිදු කොට ඇති අතිපූජ්‍ය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, විහාරස්ථාන 25 ක් ඇති කොට ඒවායෙහි අනුශාසකත්වය දරමින් කටයුතු කරති. උපසම්පදා භික්ෂූන් වහන්සේ පනස් නමක් ඇතුළු එකසිය විසි නමක් පමණ ශිෂ්‍ය පිරිසක් ඇති කළ ආචාර්යවරයාන කෙනෙක් ද වෙති. එසේ ම සම්බුද්ධ ශාසනයටත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායටත් මනුෂ්‍ය සමාජයටත් සුවිශාල සේවාවක් සිදු කරන පූජ්‍යතර මහා ලේඛකාධිකාරීන් වහන්සේ ඇතුළු සම්භාවනීය පැවිදි සහෝදර පිරිසක් ද වෙති.

කුඩා කලම ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර හදාරා ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ රාජකීය පණ්ඩිත උපාධිය 1976 දී ලබාගත් උන්වහන්සේ 1974 වර්ෂයේ පැවති උපසම්පදා පරීක්ෂණයෙන් ද 1978 පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ත්‍රිපිටක විශාරද පරීක්ෂණයෙන් ද ප්‍රථම ස්ථානය ලබා සමත් වූහ.

1978 වර්ෂයේ දී අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්මපීඨයෙන් ත්‍රිපිටකවේදී ගෞරව උපාධිය පළමු පෙළ ප්‍රමුඛයා ව සමත් වූ උන්වහන්සේ 1982 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව (බටහිර දර්ශනය) ප්‍රමුඛයා ලෙස ද 1985 කැලණි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති පරීක්ෂණයෙන් ප්‍රමුඛයා ලෙස ද සමත් වූහ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ආගම් පිළිබඳ තුලනාත්මක අධ්‍යයනය ශාස්ත්‍රපති පාඨමාලාව ද (1991 – 1993 ) හදාරා ඇති උන්වහන්සේ කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ පාඨමාලාවක් ද හදාරා ඇත. කොළඹ 10 ශ්‍රී ලංකා විද්‍යාලයේ ආචාර්යවරයෙකු වශයෙන් (1980 – 82) කටයුතු  කළ උන්වහන්සේ 1983 වර්ෂයේ සිට අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ කථිකාචාර්යවරයකු වශයෙන්  සේවය කළහ. තව ද රාජාංගන ශ්‍රී සුදර්ශන මහ පිරිවෙනෙහි ප්‍රථම පරිවේණාධිපතීන් වහන්සේ ද (1983 – 1988 ) වෙති. අනතුරුව බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨ භික්ෂු විශ්වවිද්‍යාලයේ අංශාධිපති, පීඨාධිපති ආදි නිසි බලධාරී තනතුරද දරමින් මහාචාර්ය වරයෙකු ලෙස ද සේවය කළ උන්වහන්සේ විසි වසරක් භික්ෂු උසස් අධ්‍යාපනය වෙනුවෙන් කැපවී ක්‍රියා කරමින් භික්ෂු විශ්වවිද්‍යාලයේ ප්‍රායෝගික බෞද්ධ අංශය ද, සමාජ විද්‍යා හා තුලනාත්මක අධ්‍යයන අංශය ද භාරව කටයුතු කර ඇත.

බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨ භික්ෂු විශ්වවිද්‍යාලයේ සනාතන සභා, පාලක සභා ආදියෙහි ද, කොළඹ විශ්වවිද්‍යාල පාලක සභාවේ ද බුද්ධ ශාසන උපදේශක සභාව, ජනාධිපති උපදේශක බුද්ධි මණ්ඩල ආදියෙහි ද ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ කාරක සභාවේ ද කටයුතු කර ඇති අතිපූජ්‍ය අත්තංගනේ රතනපාලාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ජාතික ආගමික හා ශාසනික ගැටළුවලදී පුරෝගාමීව කටයුතු කරන කීර්තිධර නාහිමිපාණන් වහන්සේ නමකි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය අධිකරණ නායක පදිවියෙහි කටයුතු කරමින් ශාසන චිරස්ථිතිය සාධනය පිණිස අභිනවයෙන් පත් වූ අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත මහාචාර්ය අත්තංගනේ රතනපාලාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ ම ආශිර්වාදය හිමි වේවා !

සැකසුම: පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

ඇසුර: Facebook post, Ven. Udadumbara Sobhitha