විනයධර උපාලි මහරහතන් වහන‍්සේගෙන් සමාරබ්ධ දාසක, සොණක, සිග්ගව, මොග්ගලීපුත්තතිස්ස යන අර්හත් ස්ථවිරයන් වහන්‍සේලාගෙන් සුශෝභිතව අනුබුද්ධ මහාමහේන්ද්‍ර මහරහතන් වහන්සේගේ පරම්පරාවෙන් අවිච්ඡින්නව පැවතීගෙන එන මහාවිහාර භික්ෂු වංශය අඛණ්ඩව පවත්වාගෙන යනු පිණිස, තෙවරක් උපසම්පදා වී දෙවරක් දළ්හීකර්ම ලබමින් වැඩි වාර ගණනක් පිරිසිදු උපසපන් බව සොයා සුපිරිසිදු උපසම්පදාව පිහිටුවාගත් ශාසන ඉතිහාසයේ එක ම තෙරුන් වහන්සේ යැයි විඥාප්‍රශස්ත අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසභවර ඤාණසාමි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ආදිකර්තෘ ප්‍රථම මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් අතිපූජ්‍ය පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පූර්ණ සහයෝගයෙන් හා අතිපූජ්‍ය වරාපිටියේ සුමිත්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් 1863-07-12 දින ගාල්ල මහමෝදර ඤෙය්‍යධම්මාභි මුනිවර සංඝරාජ නාමොපලක්ෂිත උදකුක්ඛෙප සීමා මාලකයේ දී ප්‍රථමෝපසම්පදා විනයකර්මය පවත්වා ආරම්භ කරන ලද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ උපසම්පදා විනයකර්ම මාලාවේ 73 වන පොදු උපසම්පදා විනය කර්මය නිකායේ කාරක මහාසංඝ සභාවේ සම්මතය පරිදි සඤ්ඤා ලේඛකාධිකාරීන් වහන්සේගේ මෙහෙයවීමෙන් මහාලේඛකාධිකාරීන් වහන්සේ‍ගේ නියමය පරිදි මාතලේ සංඝ සභාවේ ප්‍රධාන මධ්‍යම පළාත් ප්‍රාදේශික සංඝසභාවල සංවිධායකත්වයෙන් නිකායාරක්ෂක සභාවේ උපසම්පදා පුණ්‍යොත්සව සංවිධානයේ හා ශ්‍රී ලංකා රාජ්‍ය නායකත්වයේ අනුග්‍රහයෙන් ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ ඇසළ මස පුර විසේනිය නම් තිථිය ලත් ගුරු දින හෙවත් ව්‍යවහාර වර්ෂයෙන් 2023 ක් වූ ජුලි මස 21 වන දින මාතලේ පුරිජ්ජල ශ්‍රී සංඝබෝධි පිරිවෙන ප්‍රධාන මධ්‍යස්ථානය ‍කොටගෙන මාතලේ උකුවෙල සුදුගඟ නදී උදකුක්ඛෙප සීමාවේ දී සිදු කිරීමට කටයුතු සංවිධානය කොට ඇත.

මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය මහානායක ධුරන්ධර මීරිගම, මිණිඔලුව විද්‍යාවාස මහපිරිවෙන් මහාවිහාරාධිපති අග්ගමහාපණ්ඩිත ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති මකුලෑවේ විමලාභිධාන මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන මෙම මහා විනයකර්මය මහාවිහාර සම්ප්‍රදායානුකූලව විනයාගත පරිදි සුපරිශුද්ධව සිදු කිරීම සඳහා අදාළ මහාස්ථවිරයන් වහන්සේලාගේත්, උපසම්පදාපේක්ෂකයන් වහන්සේලාගේත් පූර්ණ සහයෝගය ශාසනාභිවෘද්ධිකාමීව නිකායාලය පෙරදැරිව අපේක්ෂා කෙරේ.