ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය ස්ථවිර පරම්පරාව

ශ්‍රී ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනය කර වදාළ මහා මහින්ද මහ රහතුන් වහන්සේ ප්‍රධාන සංඝ ස්ථවිරයන් වහන්සේලා සහ රාමඤ්ඤ දේහයෙහි ශාසනය ප්‍රතිශ්ඨාපනය කළ සෝණ – උත්තරාදී මහ රහතන් වහන්සේලා ද ධර්මාශෝක රජ සමයෙහි තෙවන ධර්මසංගායනාවට මූලිකත්වය දෙමින් ශාසන චිරස්ථිතිය පිණිස කටයුතු කළ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ සද්ධිවිහාරිකයන් වහන්සේලා වෙති. ශීල දෘෂ්ටි සමානත්වයෙන් සංඝටිත වූ අනෝන්‍ය ශාසන කෘත්‍ය සම්පාදනයෙන් උභයරට්ඨවාසී සංඝ රත්නය විසින් පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධ ශාසන රත්නය සර්‍වප්‍රකාරයෙන් සමාරාධනය කරන ලද්දේ වෙයි. එබැවින් බුරුම රට රාමඤ්ඤ දේශයෙන් රැගෙන එන ලද ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායික උපසම්පදාව ඒ සෝණුත්තර සඟ පරපුරටද මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ වෙතින් උපාලි මහරහතන් වහන්සේ දක්වාද සම්බන්ධ වේ.

භාග්‍යවතුන් වහන්සේ සම්මුඛ ශ්‍රාවක, විනයධර එතදග්‍රස්ථාන ප්‍රාප්ත උපාලි මහරහතුන් වහන්සේගේ පටන් ලංකා බුද්ධ හාසනය බැබල වූ මහාස්ථවිර පරම්පරාව පිළිවෙලින් මෙසේය. 1. උපාලි මහාථේර. 2. ද්‍රසක මහාථේර, 3. සොණක මහාථේර, 4. සිග්ගව මහාථේර, 5. මොග්ගලීපුත්ත තිස්ස මහාථේර යන මේ පස් නම දඹදිව් තලයෙහිය. 6. මහා මහින්ද මහාථේර 7. ඉට්ඨිය මහාථේර, 8. උත්තිය මහාථේර. 9. සම්බල මහාථේර 10. භද්දසාල මහාථේර යනු දඹදිවින් මෙහි පැමිණි මහ රහතුන් වහන්සේලා වෙති. 11. මහාරිට්ඨ මහාථෙරුන් වහන්සේගේ පටන් 12. තිස්සදත්ත මහාථෙර, 13. කාලසුමන මහාථේර, 14 දීඝ මහාථෙර, 15. දීඝ මහාථෙර  16. කාළසුමන මහාථෙර  17. නාග මහාථෙර, 18. බුද්ධරක්ඛිත මහාථෙර, 19. තිස්ස මහාථෙර, 20. දෙව මහාථෙර, 21. සුමන මහාථෙර 22. චූලනාග මහාථෙර 23. රොහණ ධම්මපාලිත මහාථෙර  24. ථෙම මහාථෙර, 25. උපතිස්ස මහාථෙර, 26 ඵුස්සදේව මහාථෙර, 27. සුමන මහාථෙර, 28. ඵුස්ස මහාථෙර, 29. මහාසීව මහාථෙර. 30. උපාලි මහාථෙර, 31. මහානාග මහාථෙර, 32. අභය මහාථෙර, 33. තිස්ස මහාථෙර, 34 ඵුස්ස මහා ථෙර, 35 චූලාභය මහාථෙර, 36. සිව මහාථෙර, 37. ඵුස්සදේව මහාථෙර, 38. සිව මහාථෙරවරයාණන් වහන්සේ තෙක් මහා ථේරවරයාණන් වහන්සේලා අට්ඨකථාවන් හි දැක්වෙන, ලංකාදීප වාසී මහාවිහාරිය පුරාණ සිංහල බුද්ධපුත්‍ර ථේර පරම්පරාවය. ඒ ථෙර පරපුර විසින් පර්‍යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධ සංඛ්‍යාත සම්බුද්ධ ශාසනය සදේවක ලෝකවාසීන් හට ලෞකික ලෝකෝත්තර උභයාර්‍ථ සිද්ධිය සාධවමින් සරත්කල චන්ද්‍ර සූයර්‍ය මණ්ඩල සේ බබුළුවන ලද්දේ ය.

මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ විසින් ස්වර්‍ණ භූමියට පිටත්කර යන ලද්දාහු සපරිවාර සොණ – උත්තර මහ රහතුන් වහන්සේලා වෙති. ස්වර්ණ භූමියෙහි රාජකුලයට පැමිණ අමනුෂ්‍යාන්තරාය නිවාරණය කළ, සොණ-උත්තර මහ රහතන් වහන්සේලා සපිරිවාර රජ පර්ෂදට බ්‍රහ්මජාල සූත්‍රයෙන් ධර්‍ම දේශනා කොට, සැට දහසක් ප්‍රාණීන්ට ධර්‍මාභිසමය කරවා තුන්දහස් පන්සියයක් කුල දරුවන් පැවිදි කරවා සම්බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනය කළ සේක.

බුද්ධ වර්‍ෂ 235 ස්වර්ණ භූමියෙහි පිහිටි සෝණුත්තර පරපුර මෙසේය. 1. සෝණ මහාථෙර, 2, සොභිත මහාථෙර, 3. සෝමදත්ත මහාථෙර 4. සුමනතිස්ස මහාථෙර, 5. සොභාග මහාථෙර, 6. සොමදත්ත මහාථෙර, 7. අනෝමදස්සි මහාථෙර, 8. අධිසීල මහාථෙර, 9. පාණදස්සි මහාථෙර, 10. මහාකාල මහාථෙර, 11. සීලබුද්ධි මහාථෙර, 12. දම්මදස්සි මහාථෙර, 13. ගුණසාර මහාථෙර, 14. අග්ගපණ්ඩිත මහාථෙර, 15. අග්ගවංශ මහාථෙර, 16. උත්තරාජීව මහාථෙර, 17. ජප්පට මහාථෙර, 18. සද්ධම්ම මහාථෙර, 19. තිසාසනධජ මහාථෙර, 20. ධම්මරාජගුරු මහාථෙර, 21. මුනින්දඝොස මහාථෙර, 22. මහාතිස්ස මහාථෙර, 23. චන්දපඤ්ඤා මහාථෙර, 24. ගුණසිරි මහාථෙර, 25. ඤාණධජ මහාථෙර, 26. ධම්මධර මහාථෙර, 27. ඉන්‍ද්‍රභාස මහාථෙර, 28. කළ්‍යාණචක්ක මහාථෙර, 29. විමලාචාර මහාථෙර, 30. ගුණසාර මහාථෙර, 31. චන්‍දසාර මහාථෙර, 32. වරඑසි මහාථෙර, 33. ගුණසිරි මහාථෙර, 34. ඤාණාභිවංශ මහාථෙර, 35. සූරියවංසාලංකාර සංඝරාජ මහාථෙර, වශයෙනි. මෙකී ස්ථවිර පරම්පරාව, බුද්ධ වර්‍ෂ 235 සිට 2410 තෙක් වර්ෂ 2175 ක් ස්වර්ණ භූමියෙහි අවිච්ඡින්නව පැවත ආ සොණුත්තර වංශ සංඛ්‍යාත ස්ථවිර පරම්පරාව නම් වේ. ශ්‍රී බුද්ධ වර්ෂ 2406 (ව්‍යවහාර වර්ෂ 1862.08.18) වර්තමාන ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ආදිකර්‍තෘභූත සාසනවංස කවිධජ සිරිසද්ධම්මාචරිය යති සංඝපති ඉන්ද්‍රසභවරඤණසාමි අඹගහවත්තේ මහානායක හිමිපාණන් වහන්සේ විසින් රාමඤ්ඤ නිකාය ලංකාද්වීපයෙහි පිහිටුවීම තෙක් මේ දක්වන ලද ස්ථවිර පරම්පරාව දත යුතු වේ.

 

සැකසුම

අතිපූජ්‍ය නුවරඑළියේ ඤාණසීල මහා ස්ථවිරය්ගේ ලිපියක් ඇසුරිනි