
දිවයින් පුරා විසිර පවතින රාමඤ්ඤ නිකායට අයත් විහාරස්ථාන සිය ගණනකගේ අදාළව පරිපාලන කටයුතු මෙහෙයවනු ලබන්නේ කොළඹ නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය මහා සංඝ මූලස්ථානය මූලස්ථානයෙනි. මූලස්ථානයක් ඉදිකිරීම පිළිබඳ අදහසට දීර්ඝ ඉතිහාසයක් ඇත. නිකායේ ආරම්භක මධ්‍යස්ථානය ලෙස ගාල්ල වැලිවත්තේ විජයානන්ද පිරිවෙන් විහාරය සැලකුවද, මූල මහා විහාරය ලෙස සැලකෙන්නේ නිකායේ ආදී කර්තෘන් වහන්සේ වැඩසිටි කළුතර පයාගල ශ්‍රී ධර්මගුප්ත පිරිවෙන් මහා විහාරය යි. නිකායේ ව්‍යාප්තියත් සමඟ කතිකානුකූලව නිකායේ අධිකාරි – නිළධාරීන් වහන්සේලා රටේ විවිධ පළාත් වලින් පත් වූ අතර, නිකායේ කටයුතු ඒ ඒ ස්වාමීන් වහන්සේලා වැඩ සිටි විහාරස්ථානවල ම සිදුවිය. ඒ අනුව නිකාය පරිපාලනය සඳහා ම වෙන්වූ එකම මධ්‍යස්ථානයක් පරිපාලන ගොඩනැගිල්ලක් නොවීය. එම අඩුපාඩුව වටහාගත් නිකායාරක්‍ෂක සභාව නිකායේ මූලිකා කාරකාදී ස්වාමීන් වහන්සේලා ද එබඳු ආයතනයක් පිහිටුවීමට විටින් විට උත්සාහ දැරුව ද එම ප්‍රයත්නය සාර්ථක නොවී ය. ඒ සඳහා විවිධ හේතු කාරණා බලපෑ බව නිකාය මූලස්ථානයේ ඉතිහාසය පරීක්‍ෂා කිරීමෙන් පෙනේ. රටේ විවිධ ප්‍රදේශවලින් කලින් කල පැවති රජයයන් විසින් භූමි භාගයන් පරිත්‍යාග කරනු ලැබූවද අදාළ කාර්යය සිදු කර ගැනීම පිණිස වූ ශක්තිමත් සංවිධානයක් වැඩ පිළිවෙලක් නොවූයෙන් එම අදහස ක්‍රියාත්මක වූ බවක් නොපෙනේ.
නිකායාරක්‍ෂක සභාවේ සභාපති ධූරයට දේශමාන්‍ය කරු ජයසූරිය මැතිතුමන්ගෙන් පත්වීමත් සමඟ එම තත්වය නැවත ක්‍රියාත්මක තාවයට පත් වූ අතර එතුමාගේ දෘඪතර උත්හාසයත් එවකට වැඩ සිටි අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාරාභිධාන මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මග පෙන්වීමත් අනුව එවක පැවති රජයෙන් වත්මන් පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයෙහි බත්තරමුල්ල ප්‍රදේශයෙන් භූමි භාගයක් ලබා ගන්නා ලදී. අනතුරුව රජයේ අනුග්‍රහයෙන් බත්තරමුල්ලේ ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට අංක 566 දරන ඉඩමට හුවමාරු කරගත් අතර එහිදී ලැබුණ රුපියල් මිලියන 50 ක මුදල ඉදිකිරීම් කටයුතු සඳහා යොදාගන්නා ලදී.
නිකායේ ඉදිරි පරිපාලන කටයුතු සියල්ල මෙම මූලස්ථානය මගින් සිදුකරන අතර, අදාළ අධිකාරීන් වහන්සේලා හා නිළධාරීන් වහන්සේලා අඟහරුවාදා – බදාදා හා සිකුරාදා දිනවලදී මුණගැසිය හැකිය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පරිපාලන මධ්‍යස්ථානය මගින් නිකායේ සියලු තොරතුරු ඒකරාශි කරගැනීමට අවස්ථාව සැලසෙන අතර නිකාය ඉතිහාසය සම්බන්ධ ලිපි ලේඛන, කතිකාවත් (පාලන) ඉතිහාසය, අධිකරණ සම්බන්ධ තොරතුරු ද ඒ අනුව එකම ස්ථානයක සුරක්‍ෂිත වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක රට පුරා විසිරී ඇති නිකාය මේ මූලස්ථානය මගින් ඉදිරියේදී පාලනය කළ හැකිය. අතිපූජ්‍ය මහානායක මාහිමි නිල නිවාසය ද නිකායේ පරිපාලනය සම්බන්ධ ලේකම් කාර්යාලයන් ද මෙහි ම පිහිටුවන හෙයින් විධිමත් පරිපාලනයක් ගෙන යාමටත්, විධිමත් සේවාවක් පවත්වාගෙන යාමටත් එයින් ඉමහත් පිටුබලයක් ලැබෙනු ඇත.