
රාමඤ්ඤ නිකාය ඉතිහාසය
බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාශය තත්වාකාරයෙන් දැන වදාළ මොග්ගලීපුත්තතිස්ස මහරහතුන් වහන්සේ වනාහි සම්බුද්ධ ශාසනය ලංකාද්වීපයෙහි විශේෂයෙන් මුල්බැස ගන්නා බව මනාව දැන තමන් වහන්සේගේ විශිෂ්ඨ ශිෂ්‍ය රත්නය වන මහා මහින්ද ප්‍රධාන සද්ධිවිහාරික පස්නමක් ලක්දිවට වැඩම කිරීමට විධාන කළහ.
මිහිඳු මහ රහතන් වහන්සේද බුද්ධවර්‍ෂ 235 වැන්නෙහි ඉල් මස සුබ දිනෙක, උපාධ්‍යයන් වහන්සේ හා සංඝරත්නය වැඳ සමුගෙන, ලක්දිව වැඩම කිරීමට සුදුසු කල් බලා දක්‍ෂිණගිරි දනව්වෙහි වේදිස ගිරියට පැමිණ තමන් වහන්සේගේ මෑණියන් වන වේදිස මහාදේවිය දැක, එතුමිය විසින් කරවන ලද වේදිසගිරි විහාරයෙහි නැවතී සිට, ලක්දිව සිටි මුටසිව රජුගේ ඇවෑමෙන් දේවානම්පියතිස්ස රජු රාජ්‍යාභිෂේක ලබා සැණකෙළි පවත්වන පොසොන් පුර පසළොස්වක පොහෝ දින, වේදිසගිරි විහාරයෙන් අහසට පැන නැඟී ලක්දිව මිස්සක පර්වතය නම් වූ මිහින්තලාවෙහි පිහිටි සේක. මිහිඳු මහ රහතන් වහන්සේගේ අධිෂ්ඨාන පරිදි මිහින්තලාවේදී දේවානම්පියතිස්ස මහරජාණන් සම්මුඛ විය. සීත වනයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ හමුවට ගිය අනාථ පිණ්ඩික මහා සිටුතුමාගේ ප්‍රසාදයෙන් ජේතවනාරාමය වැනි මහා විහාරයක් හා අසංඛ්‍ය සංඛ්‍යාත මහ ජනතාවවට අර්ථ සිද්දියක් සැලසීයාම සේ, මෙදින දේවානම්පියතිස්ස මහරජතුමාහට මිහිඳු මහරහතන් වහන්සේගේ දර්‍ශනය අවුරුදු පන්දහසක් මුළුල්ලෙහි ශ්‍රී ලංකාද්වීපය කේන්ද්‍රස්ථාන බවට පත්ව සම්බුද්ධ ශාසනය විරාජමානව චිරස්ථායී වීමට හේතු විය.
රාමඤ්ඤ නිකාය ඇතිවීමට පෙර අවධිය
ශ්‍රී ලංකා මහා විහාර වංශික උපසම්පදාව මේ ලංකාද්වීපයෙහි තුන් වරක් ද පිහිටුවා ඇත්තේය. මහා මහින්ද මහ රහතුන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස මහරජාණන් සමයෙහි පිහිටුවන ලද ලංකා සම්බුද්ධ ශාසනය බුද්ධ වර්ෂ 454 තෙක් නිරාකූලව පවතිණ. ඉන්පසු අභයගිරි නමින්ද නිකායක් ආරම්භ විය. බුද්ද වර්ෂ 811 වැන්නෙහි රජ පැමිණී මහසෙන් මහ රජාණන් සමයෙහි ජේතවන නිකායද පහළවීමෙන් ලංකා ශාසනය කලංක ලංකිත විය. බුද්ධ වර්ෂ 500 යේදී එතෙක් වාචෝද්ගත කිරීම් වශයෙන් ධාරණයෙන් සුගෝපිත සද්ධර්මය ග්‍රන්ථාරූඨ කොට තබන ලද්දේ අනාගත ශාසන සංරක්‍ෂණය පිණිස සිවුපිළිසිඹියා පත් මහ රහතුන් වහන්සේලා විසිනි.
බුද්ධ වර්ෂ 1608 දී පොළොන්නරු නුවර රජ පැමිණ මහා විජයබාහු මහ රජාණන් දවස, උපසම්පදාදී ශාසනික විනය කර්මයකට තරම් සෑහෙන උපසම්පන්න භික්‍ෂු සංඝයා වහන්සේ ලක්දිව නොසිටි බැවින් රාමඤ්ඤ දේශයෙහි අරිමද්දන පුර, අනුරුද්ධ මහ රජාණන්ගේ අනුග්‍රහයෙන් මහා සංඝ රත්නය රාමඤ්ඤ දේශයෙන් වැඩම කරවා සෝණුත්තර වංශික උපසම්පදාව පිහිටුවන ලද්දේ ය. මහා විහාර වංශික ස්ථවිර පරම්පරාව එතැන් සිට නැවතත් වර්ධනය වෙමින් සසුනඹර බැබලුව අතර, බුද්ධ වර්ෂ 2007 ජයවර්ධනපුර කෝට්ටේ රජ පැමිණ සයවෙනි බුවනෙකබාහු රජු දවස රාමඤ්ඤ දේශයෙහි, නිකායාන්තරාකුලයෙන් සෝණුත්තර වංශික ස්ථවිර පරම්පරාව දුර්වල වූ බැවින් එරට ධම්මචෙතිය නම් මහා රජාණන් විසින් ලක්දිවට පිටත්කර එවන ලද දෙවිසි නමක් පමණ භික්‍ෂූන් වහන්සේලාට ගරු උපසම්පදාව දීමෙන් රාමඤ්ඤ දේශයෙහි සම්බුද්ධ ශාසනය පුනරුත්ථාපනය කිරීමට ද සමර්ථ විය. මහා විජයබාහු මහ රජාණන් සමයෙහි සමාරම්භ සොණ්ත්තර වංහික භික්‍ෂු වංශය සීතාවක රජය කළ 1 වැනි රාජසිංහ (බු.ව. 2124 දක්වා දියුණුවෙන් පැවති අතර යථොක්ත සීතාවක රාජසිංහ රජුගේ ශාසන විලෝපනයෙන් අහෝසි බවට පත්විය.
සීතාවක රාජසිංහයන්ගෙන් පසු සෙංකඩගල රජ පැමිණි පළමුවැනි විමලධර්මසූරිය මහ රජතුමා රක්ඛංග දේශයෙන් භික්‍ෂු සංඝයා වහන්සේ වැඩම කරවාගෙන බුද්ධ වර්ෂ 2140 දී මහවැලි ගඟ ගැටඹේ තොට දී උපසසම්පදා විනය කර්මයක් පවත්වා යලි භික්‍ෂු ශාසනය පිහිටුවන ලද්දේය. රටේ පැවති යුද්ධ කල කෝලාහලාදිය හේතුවෙන් එම ශාසනසංග්‍රහයද අචිරස්ථායී වූයේය. දෙවැනි විමලධර්මසූරිය මහ රජාණන් ද නැවතත් රක්ඛංග දේශයෙන් මහ සංඝ රත්නය වැඩම කරවා ශාසන ප්‍රතිෂ්ඨාපනය කරන ලද්දේ ය. නොබෝ කලකින් එයද නාමශේෂ බවට පත්විය. එහෙත් කීර්ති ශ්‍රී නිශ්ශංක රාජසිංහ රාජ්‍ය කාලය තෙක් සිල්වත් සමාගම නමින් අනුපසම්පන්න භික්‍ෂු පිරිසක් ශේෂව සිටියහ.
ශ්‍යාමෝපාලි මහා නිකාය පිහිටුවීම.
සෙංකඩගල රාජධානියෙහි සිංහාසනාරූඨ කීර්ති ශ්‍රී නිශ්ශංක රාජසිංහ රාජ්‍යෝදයේදී සිල්වත් සමාගමයෙහි වූ බෝධිසත්ව ගුණෝපේත පිණ්ඩපාතික වැලිවිට සරණංකර හිමිපාණන් වහන්සේගේ උදාරාධ්‍යාශයෙන් අභිනීත වූ යථෝක්ත මහ රජතුමාණන් විසින් බුද්ධ වර්ෂ 2293 දී (ක්‍රි.ව. 1750) සියම් දේශයට යවන ලද රාජ්‍ය සන්දේශ දූත මෙහෙවර අනුව බු.ව. 2296 දී ක්‍රි.ව. (1753) උපාලි මහා ස්ථවිර ප්‍රමුඛ අටළොස් නමක් පමණ උපසම්පන්න ස්ථවිර භික්‍ෂූන් වහන්සේලා ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවා මල්වතු අස්ගිරි උභය විහාරස්ථ සිල්වත් සමාගමට අයත් පිරිස උපසම්පදාවෙහි පිහිටුවාදීමෙන් වර්තමාන ශ්‍යාමෝපාලීවංශික මහා නිකාය ආරම්භ කරන ලද්දේ වෙයි.
අමරපුර උපසම්පදාව
වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වූ බෝවල ධම්මානන්ද හිමියන්ගේ ශිෂ්‍ය අඹගහපිටියේ සිරි ඤාණවිමල තිස්ස මාහිමියන් වහන්සේ ශ්‍යාමෝපාලි මහා නිකායේ ප්‍රව්‍රජ්‍යාලාභීව සිටි නමුත් ගරු උපසම්පදාවම නොලැබ සපිරිවරින් බුරුම රට අමරපුර නුවරින් පරිශුද්ධෝපසම්පදාව ගෙනවුත් බුද්ධ වර්ෂ 2346 (ක්‍රි.ව. 1803) දී අමරපුර නිකාය පිහිටුවා වදාළහ. 1808 වසරේදී කතලුවේ ගුණරතන තිස්ස හිමියෝ බුරුමයේ රාමඤ්ඤ දේශයේ කළ්‍යාණ සීමාවේදී උපසම්පදාව ලබා ලංකාවට පැමිණ 1810 දී ශ්‍රී කළ්‍යාණ වංශික නිකාය ආරම්භ කළහ. බෝවල ධම්මානන්ද හිමියන්ගේ ශිෂ්‍යයෙකු වූ අත්තුඩාවේ ධම්මරක්‍ඛිත හිමියෝ බුරුමයට ගොස් උපසම්පදා වී පැමිණ 1807 දී අමරපුර ශ්‍රී ධර්ම රක්‍ඛිත නිකාය ආරම්භ කළහ.
වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වූ බෝවල ධම්මානන්ද හිමියන්ගේ ශිෂ්‍ය අඹගහපිටියේ ඤාණවිමලතිස්ස හිමියෝ බුරුමයේ අමරපුරයට ගොස් උපසම්පදා වී පැමිණ 1803 දී මාදුගගේ උදකුක්ඛේප සීමාවේදී සාමණේරයන් උපසම්පදා කර “අමරපුර නිකාය” නමින් වෙනම ම නිකායක් ඇති කළහ. 1808 වසරේදී කතලුවේ ගුණරතන තිස්ස හිමියෝ බුරුමයේ රාමඤ්ඤ දේශයේ කළ්‍යාණ සීමාවේදී උපසම්පදාව ලබා ලංකාවට පැමිණ 1810 දී ශ්‍රී කළ්‍යාණ වංශික නිකාය ආරම්භ කළහ. බෝවල ධම්මානන්ද හිමියන්ගේ ශිෂ්‍යයෙකු වූ අත්තුඩාවේ ධම්මරක්‍ඛිත හිමියෝ බුරුමයට ගොස් උපසම්පදා වී පැමිණ 1807 දී අමරපුර ශ්‍රී ධර්ම රක්‍ඛිත නිකාය ආරම්භ කළහ.
සියම් නිකායේ උපසම්පදාව පිළිබඳ ව විවිධ විවේචන ඉදිරිපත් කළ කොරහගොඩ අත්‍ථදස්සි හිමියන් හා තෝලංගමුවේ සිද්ධාර්ථ හිමියන් එක්ව 1836 දී සබරගමු අමරපුර සිරිසද්ධම්ම වංශ එක්නැලිගොඩ විහාර පාර්ශවය ආරම්භ කරන ලදී. 1858 දී තෝලංගමුවේ සිද්ධාර්ථ හිමියන්ගේ ආචාර්යත්වයෙන් හා දෙල්ගමුවේ හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් රත්නපුර – වරකාතොට කළුගගේ උදකුක්කේය සීමාවේ දී පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද හිමි, මලිගස්සේ හිමි, දෙණිපිටියේ හිමි, සෝමානන්ද හිමි, අමරමොලි හිමි, අක්මීමන සෝභිත හිමි යන සියම් නිකායික භික්‍ෂූහු අමරපුර නිකායට ඇතුළත් වූහ. සියම් නිකායට අයත් උගත් වියධර බුලත්ගම ධම්මාලංකාර හිමියෝ ද අමරපුර නිකායට එක්වූහ. එසේ ම විශාල භික්‍ෂු පිරිසකට අධ්‍යාපනය ලබා දුන් බෙන්තර වනවාසයේ අධිපති බෙන්තර අත්තදස්සි හිමියන් හා බුලත්ගම ධම්මලකාර හිමියන් සමඟ හික්කඩුවේ සුමංගල හිමි, දොඩම්පහළ දීපංකර හිමි, මලිගස්සේ සුමංගල හිමි, සියඹලාපේ හිමි, ආදී උගත් මහතෙරවරුන් එක්වී මල්වතු අස්ගිරි හා පහතරට භික්‍ෂූන් අතර ඇති වාද විවාද සමථයකට පත් කරමින් සමඟි ව විනයකර්ම කිරීම සඳහා විශාල උත්සාහයක් ගත්හ. නමුත් උඩරට පහතරට භික්‍ෂූන් අතර වුවාද වඩාත් ප්‍රබල විය. එය 1856 වර්ෂයේ දී අඹගහවත්තේ සරණංකර සාමණේරයන් ඇතුලු සාමණේර පිරිසගේ උපසම්පදාව සම්බන්ධ ව ඇතිවූ සිදුවීම්වලින් පැහැදිලි වෙයි. වර්ෂ 1856 වන විට අඹගහවත්තේ සරණංකර සාමණේරයෝ ධර්ම විනය පිළිබඳ පුලුල් දැනුමක් ඇතිව උපසම්පදා වීමට සුදුසු වයසත් (අවු. 20) ඉක්මවා වසර හතරක් ගතකර තිබුණි.
අඹගහවත්තේ නා හිමි
අඔගහවත්තේ නාහිමියන්ගේ ආචාර්යයන් වහන්සේ වූ බෙන්තර අත්දස්සි හිමියන්ට තත්කාලීන ධර්ම විනයවාදවලට සම්බන්ධව සිටීම නිසා තම ශිෂ්‍යයන්ගේ උපසම්පදා විනය කර්ම කිරීමට අවස්ථාවක් නොලැබුණි. දශක දෙකකට වැඩි කාලයක් උපසම්පදා විනය කර්මවලට මල්වත්තට නොගිය බෙන්තර අත්ථදස්සි හිමියෝ තම ශිෂ්‍යයන්ගේ අනාගත අභිවෘද්ධිය අපේක්‍ෂා කරමින් බුලත්ගම ධම්මාලංකාරතිස්ස නාහිමි, අක්මීමන සෝභිත හිමි, වලානේ සිද්ධාර්ථ හිමි, තලංගම සුමංගල හිමි, ධර්ම කීර්ති මංගල හිමි, ආදී මතෙරවරු සාමුහික සාකච්ඡාවකින් පසුව පැරණි වාදවිවාද දුරුකර ශාසනාභිවෘද්ධිය අපේක්‍ෂා කමින් මල්වත්තේ උපසම්පදාවට යාමට තීරණය කළහ. ඒ අනුව ධර්ම කීර්ති සුමංගල හිමි ආදීහු තම තමන්ගේ සාමණේර ශිෂ්‍යයන් ද පූජා භාණ්ඩ පුරවා ගත් කරත්ත සහිතව මහ පෙරහැරකින් ගාල්ල, බෙන්තර, පානදුර, කොළඹ හරහා මහනුවරට 1856 මැයි 15 වන දින පැමිණියහ. එදින රාත්‍රියේ මල්වත්තේ සංඝයා හමුවී “මල්වත්තේ මහා නායක ගල්ගිරියාවේ නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් ගණපූරක වශයෙන් පහතරට සංඝයා ඇතිව උඵසම්පදා විනය කර්මය කිරීමේ අවශ්‍යතාව දැක්වූහ. ඒ පිළිබඳව කරන ලද සාකච්ඡාව කොපමණ දීර්ඝ වුවත් යහපත් ප්‍රතිචාරයක් මල්වත්තේ සංඝයාගෙන් නොලැබුණි.
පසුදා උදෑසනම මල්වතු කාරකසභාවට අයත් භික්‍ෂූන් තමාගේ බලය පෙන්වමින් සාමණේරයන් සීමාවට කැඳවා උපසම්පදා විනය කර්මය කරන ලදී. එයින් අප්‍රසාදයටත් කල කිරීමටත් පත් වූ පහතරට භික්‍ෂූහු එදින ම කොළඹට පැමිණ බුත්ගමු විහාරයේ දී සාකච්ඡාවක් කර පසු දිනම කැළණි ගඟේ පවුරක දී සියලු සාමණේරයන් වහන්සේලා නැවත උපසම්පදා කළහ. මේ සියල්ල ගුරු ගෞරවයෙන් මධ්‍යස්ථව ඉවසා සිටියත්, අඹගහවත්තේ සරණංකර හිමියෝ දැඩි කලකිරීමෙන් හා තීක්‍ෂණ අධීක්‍ෂණයකින් යුක්තව සිටියහ. තම ආචාර්යයන් වහන්සේලා තුළ ඇති පවිත්‍ර වූ බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීමේ අභිලාශය සක්‍රීය කිරීමට නම් “පිරිසිදු උපසම්පදාවක්” ලබාගත යුතුය යන අපේක්‍ෂාවෙන් ගුරු අණට අනුමැතිය දී කීකරුව, බෙන්තර අත්ථදස්සි ගුරු හිමියන්ගේ අනුමැතිය ඇතිව පයාගල මදිනකන්දේ විහාරස්ථානයේ වස් විසූහ.
මේ කාලයේදී තමා ලබා සිටි විවාදාත්මක උපසම්පාදව ප්‍රතික්‍ෂේප කර පයාගල ඈතගම පන්සලේ වැඩ සිටි අමරපුර නිකායික ප්‍රතිපත්තිකාමී මෑටියලමුල්ලේ රතනපාල හිමියන් ළඟ සාමණේර දසසිල් සමාදන් වී දොන් දාවිත් වීරකෝන් අප්පුහාමි ඇතුලු දායකයන් විසින් පයාගල දූවේ ඉදිකරන ලද කුඩා ආරාමයේ වැඩ සිටිමින් සරණංකර සාමණේරයෝ ධර්ම විනය ග්‍රන්ථ කියවමින් කාලය කළහ. මේ කාලයේදී තමාගේ ආචාර්යවරයෙකු වූ අක්මීමන සෝභිත හිමියන් ප්‍රධාන භික්‍ෂු පිරිසක් කුරුවිට එක්නැලිගොඩ වැඩ සිටි තෝලංගමුවේ හිමියන් ප්‍රධාන රත්නපුර භික්‍ෂූන්ගෙන් උපසම්පාදවක් ලබාගැනීමට යන පිරිසට එක්වෙන ලෙස කරන ලද ඉල්ලීමක් ප්‍රතික්‍ෂේප කර ඉද්දමල්ගොඩ නිලමේ හමුවී ත්‍රිපිටක ග්‍රන්ථ ලබාගෙන ධර්ම ගවේෂණයම කළහ.
ඒ අතරතුරදී අක්මීමන සෝභිත හිමියන්ගේ උපාධ්‍යාත්වයෙන් හා බුලත්ගම ධම්මාලංකාර හිමියන්ගේ ආචාර්යයත්වයෙන් සරණංකර සාමණේරයන්ගේ නැවත වරක් අමරපුර නිකායේ උපසම්පදා කරන ලදී. මෙසේ වසර කීපයක් තුළ තෙවරක්ම උපසම්පදාව ලැබූ අඹගහවත්තේ සරණංකර හිමියන්ට අවශ්‍ය වූයේ ධර්ම විනයානුකූලව චීවර පරම්පරාවෙන් අඛණ්ඩව ආරක්‍ෂා කෙරෙන අකලංක වූත් අසංඛිත වූත් උපසම්පාදවක් ලබාගැනීමය. එවැනි පිරිසිදු උපසම්පාදව ආරක්‍ෂා කරගෙන එන අවිච්ඡින්න ආචර්ය පරම්පරා, සුවණ්ණ භූමියේ භික්‍ෂූන් අතර සිටින බවත් උන්වහන්සේලා ධර්ම විනයානුකූලව පැවිදි උපසම්පදා විනය කර්ම කරන බවත් දැනගත් සරණංකර හිමියෝ ස්වකීය ආචාර්යවරයන් වූ අක්මීමන සෝභිත හා බුලත්ගම ධම්මාලංකාරතිස්ස හිමිවරුන්ගේ උපදෙස් ඇතිව “උපසම්පදාව” සොයා බුරුමයට යාමට තීරණය කළහ.
ඒ සඳහා දීපේගොඩ සීලක්ඛන්ධ හිමි, පැල්පොල ධම්මදස්සි හිමි කෝදාගොඩ සුමංගල හා වැලිගම ධම්මපාල යන සාමණේරයන් දෙදෙනාත් වන්නිහේවා ලුවිස් ප්‍රනාන්දු, කරොලිස් අප්පුහාමි හා අප්පු උපාසක යන කැපකරුවන් ද කැමති කරවා ගත්හ. මේ පිරිස 1860-10-10 වන දින ගාල්ලේ වරායෙන් ග්‍රැණ්ඩා නම් ඇමරිකන් රුවල් නැවෙන් පිටත් ව කල්කටාව හරහා චිතගොන්වලටත් එතැන් සිට බුරුමයේ රැන්ගුන්වලට පැමිණියහ. එහි දින කීපයක් සිට අරඤ්ඤවාසී සද්ධම්මවර ආදී මහථෙරවරුන් හමුවී බුරුමයේ බුදු දහම පිළිබඳ ව අවබෝධයක් ලබාගෙන ඉහළ බුරුමයට යාමට තීරණය කළහ.
ඒ අනුව ඉහළ බුරුමයේ මණ්ඩලේ මෙංඩුන් රජතුමාගේ රාජධානියට 1861-02-24 දින පැමිණි සරණංකර හිමියන් ඇතුලු පිරිස රජතුමාගේ අනුග්‍රහය ඇති ව මහාවිස්සුනාරාමයේ දින කීපයක් ගතකර රජතුමාගේ උපදෙස් අනුව ඤෙය්ය ධම්මාභිමුනිවර ඤාණකිත්ති සිරිපවරධම්ම සේනාධිපති මහාධම්ම රාජාධිරාජගුරු සංඝරාජයාණන් හමුවී “තමාගේ එකම අපේක්‍ෂාව පිරිසිදු පැවිදි උපසම්පදාව ලබාගැනීම” බවදැන්වීය. සඟරජ හිමියෝ ලාංකික දූත පිරිසට ආගන්තුක සත්කාර දැක්වීමට පඤ්ඤාසාමි සිරිකවිධජ මහාධම්මරාජාධිරාජගුරු හිමියන්ට පැවරූහ. සඟරජ හිමියන්ගේ උපදෙස් අනුව සංඝරාජාරාමයේ දීම ධර්ම විනය හා පෞරාණික චාරිත්‍රවිධි පිළිබඳ ව අධ්‍යයනයට අවස්ථාව ලැබුණු අතර සරණංකර හිමියන් ඇතුලු පිරිස සංඝරාජ හමියන් යටතේ ධර්මාධ්‍යයනය මාස කීපයක් සිදුකර සඟරජ හිමියන්ගේ අනුමැතිය ඇතිව මෙංඩූන් රජුගේ දායකත්වයෙන් විසුංගම මහාසීමාවේදී 1861 ජූනි 12 වන දින සංඝරාජ හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා ආචාර්ය පඤ්ඤාණිධජ ධම්මාලංකාර මහාධම්ම රාජාධිරාජගුරු හිමියන් ඇතුලු 76 ක් මහථෙරවරුන්ගේ සහභාගීත්වයෙන් උපසම්පදා විනය කර්මය සිදුවිය.
නවක උපසම්පදාලාභී ලාංකික භික්‍ෂූන් වහන්සේලාට සඟරජ හිමියන් විසින් ගෞරවනාම ප්‍රදානය කරන ලදී. ඒ අනුව අඹගහවත්තේ සරණංකර හිමියන්ට “ඉන්දාසභවර ඤාණසාමි” යන ගෞරව නාමය ප්‍රදානය කෙරිණ. උපසම්පාවෙන් පසුව සීමාමාලකයේ දීම සරණංකර හිමියෝ සඟරජ හිමියන් ඉදිරිපිට දී ධූතංග සමාදන් වී කමටහන් ලබාගෙන නිස සමාදන් වූහ. ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ඇසුරෙහි වත් පිළිවෙත් පුරමින් ධර්ම විනය හදාරමින් සිටි අඹගහවත්තේ සරණංකර හිමියෝ තමා තබාගත් උපසම්පදාව තවත් ස්ථිර කිරීමටත් චෝදනා පරෝපවාදවලින් ආරක්‍ෂා වීමටත් හේතුවන දළ්හිකර්ම උපසම්පදාවක් සිදු කරවා ගැනීමට අවශ්‍ය බව සඟරජ හිමියන්ට දැන්වූහ. ඒ අනුව පඤ්ඤාසාමි හිමියන්ගේ අධීක්‍ෂණයෙන් දැව කර්මාන්ත අමතිතුමා විසින් ඓරාවති නදියේ ඉදිකරන ලද උදකුක්ඛේප සීමාවේදී සඟරජ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සරණංකර හිමියන් ඇතුලු ලාංකික භික්‍ෂූන් “දළ්හීකර්ම” කර පුනර්ශික්‍ෂාවන්හි පිහිටවීම සිදුකරන ලදී.
පසුව රජතුමා ඇතුලු ප්‍රභූන්ගෙන් පූජෝපහාර ලබා සඟරජ ඇතුලු මහ තෙරවරුන්ගේ ආශිර්වාද මාධ්‍යයේ 1862.05.03 දින ඉන්දාසභවර ඤාණසාමි ඇතුලු ලාංකික භික්‍ෂු පිරිස සිය රට බලා පිටත්වූහ. මණ්ඩලේ මෑණ්ඩුන් රජතුමාගේ ආධාර ඇතිව ගමන් ආරම්භ කළ ලාංකික භික්‍ෂු පිරිස දින පහකින් පසුව පහළ බුරුමයේ රැන්ගුත් නුවරට පැමිණයහ. රැන්ගුන් නුවර මහා සීමා විහාරයේ කේසරිසීහ සද්ධම්මවර යන හිමිවරුන් හමුවී, සාකච්ඡා කර කළ්‍යාණී සීමාවේ දී නැවතත් දළ්හීකර්මයක් කිරීමට මහා සංඝයාගේ අනුමැතිය ලබාගෙන බු:ව: 2405 පොසොන් මස අවදියවක දා අඹගහවත්තේ ඉනදාසභවර ඤාණසාමි ඇතුලු ලාංකික භික්‍ෂූහු “දළ්හී කර්මය” ලැබූහ. එම පිරිස රැන්ගුත් නුවරදී ඉංග්‍රීසි ආණ්ඩුකාරයාගේ ආධාර ඇතිව මදුරාසිය හරහා ගාල්ලට පැමිණියේ 1862-08-18 වන දිනය. අඹගහවත්තේ ඉන්ද්‍රසාවර ඤාණසාමි ඇතුලු පිරිස ගාලුවරායේදී පිළිගන්නා ලද්දේ බුලත්ගම ධම්මාලංකාර තිස්ස හිමි අක්මීමන සෝභිත හිමි ඇතුලු විශාල සඟ පිරිසක් හා දායක සමූහයා විසිනි.
රාමඤ්ඤ නිකාය බිහිවීම
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය නැමැති මෙම භික්‍ෂු වංශය ශ්‍රී.බු.ව. 2406 වැන්නේ දී අතිගරු අඹගහවත්තේ සාසනවංස කවිධජ සිරි සද්ධම්මචරිය යති සංඝපති ඉන්දාසභවරඤාණසාමි මහානායක මාහිමියන්ගේ ආදි කර්‍තෘත්වයෙන් ලක්දිව ශාසනාභිවෘද්ධිය සඳහා පිහිටුවා වදාළ භික්‍ෂු වංශයයි. ශ්‍රී බු.ව. 2407 වැන්නෙහි ඇසළ මස අව තුදුස්වක හෙවත් රාජ්‍ය වර්ෂ 1863 ජූලි 13 සඳු දින ගාලු මහමෝදර, උදකුක්ඛේප සීමා මාලකයේදී සුපූජනීය වරාපිටියේ සුමිත්ත මාහිමිපාණන් වහන්සේ උපාධ්‍ය ධූරයෙහි තබා සිදු කළ ගරු උපසම්පදා විනය කර්මයෙන් ”ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය” සදේවක ලෝකවාසීන්ගේ ලොවී ලොව්තුරා අර්ථය පිණිස ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. මෙම ඓතිහාසික කර්තව්‍යයේදී විදර්ශනාචාර්ය පුවක්දණ්ඩාවේ සිරි පඤ්ඤානන්ද මහා ස්වාමීන් වහන්සේ ද අතිශයින් උපස්ථම්භක ව ක්‍රියා කළහ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය නැමැති මෙම භික්‍ෂු වංශය ශ්‍රී.බු.ව. 2406 වැන්නේ දී අතිගරු අඹගහවත්තේ සාසනවංස කවිධජ සිරි සද්ධම්මචරිය යති සංඝපති ඉන්දාසභවරඤාණසාමි මහානායක මාහිමියන්ගේ ආදි කර්‍තෘත්වයෙන් ලක්දිව ශාසනාභිවෘද්ධිය සඳහා පිහිටුවා වදාළ භික්‍ෂු වංශයයි. ශ්‍රී බු.ව. 2407 වැන්නෙහි ඇසළ මස අව තුදුස්වක හෙවත් රාජ්‍ය වර්ෂ 1863 ජූලි 13 සඳු දින ගාලු පුරවරයේ මහමෝදර ගිංගඟේ උදකුක්ඛේප සීමා මාලකයේ දී මෙම නිකායෙහි ප්‍රථම උපසම්පදා විනය කර්මය තපෝ ගුණයෙන් හෙබි අතිගරු වරාපිටියේ සිරි සුමිත්ත මහා ස්වාමීන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සිදු කරන ලදී. මෙම ඓතිහාසික කර්තව්‍යයේදී විදර්ශනාචාර්ය පුවක්දණ්ඩාවේ සිරි පඤ්ඤානන්ද මහා ස්වාමීන් වහන්සේ ද අතිශයින් උපස්ථම්භක ව ක්‍රියා කළහ.
රාමඤ්ඤ නිකාය ආරම්භ කළ ඉන්දාසභවරඤාණසාමී මහා ස්වාමීන් වහන්සේ බුරුම රට රතනාපුණ්ණ රාජධානියට පැමිණ මෙණ්ඩුන් මහරජතුමාගේ ප්‍රධාන දායකත්වයෙන් මුළු බුරුම රටේ ම සංඝ පිතෘ වූ ඤෙය්‍යධම්මාභිමුනිවර ඤාණකිත්තිසිරි පවර ධම්මසේනාධිපති මහාධම්ම රාජාධිරාජගුරු සංඝරාජයන් වහන්සේ ප්‍රමුඛ කොට ඇති භික්‍ෂු ඝයා වෙතින් ලබන ලද අධිශීලය ඇතිව ත්‍රිපිටක ධර්මය ද මැනවින් පුහුණු කර ගෙන රාමඤ්ඤ රට හංසාවතියට පැමිණ එහි කල්‍යාණි සීමාවේදී අතිගරු සද්ධම්මවර ස්වාමීන්ද්‍ර ප්‍රමුඛ ආරණ්‍ය සංඝයා වෙතින් දළ්හි කර්මෝපසම්පත්තිය ලබා ජීවිත පරිත්‍යාගයෙන් සම්බුද්ධ ශාසනය නගා සිටුවීමට උදාර සේවයක් කළ ප්‍රතිපත්තිධර මහා තෙර නමකි.
රාමඤ්ඤ නිකායේ ආදිම උපසම්පදාවේ මහෝපාධ්‍යය පදවිය දැරූ වරාපිටියේ සුමිත්ත මාහිමියෝ අඹගහවත්තේ මාහිමියන්ට වඩා දස වසකින් වැඩිමහල් ය. මුන් වහන්සේ ක්‍රි.ව. 1844 බක් මස පුර පසළොස්වක දා සූවිසි නමක් සමගින් ගාලු වරායෙන් නැව් නැගී සියම් රටට ගොස් ධම්මයුත්තික නිකායේ වජිරඤාණ සංඝරාජයන් ප්‍රමුඛ මහා සංඝයා වෙතින් උපසම්පදාව ලබා ලක්දිවට පැමිණ මාතලේ කූඹියන්ගොඩ විජයනන්දනාරාමයේ (පසුව විද්‍යාසේකර පිරිවෙන) වැඩ විසූහ. රාමඤ්ඤ රට හංසාවතියේ කළ්‍යාණි සීමාවෙන් උපසම්පදාව ලත් ශ්‍යාම දේශීය භික්‍ෂූන් විසින් පිහිටුවන ලද එහි රාජකීය නිකාය ලෙස ප්‍රසිද්ධ වූ ධම්මයුත්තික නිකායේ උපසම්පදාව ලබා ගෙන විත් වැඩ විසූ චිරරාත්‍රඥ ස්ථවිර නමක් වූ බැවින් වරාපිටියේ සුමිත්ත හිමියන් පිළිබඳ තොරතුරු දැනගත් අඹගහවත්තේ මාහිමියෝ රාමඤ්ඤ නිකායේ ප්‍රථම මහෝපාධ්‍යායන් වහන්සේ ලෙස ගත්හ. විතාරන්දෙනියේ ඉන්දසාර හිමියන්ගේ ශිෂ්‍යයෙකු වූ පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද හිමියෝ වනසෙනසන්වල විසූ සිල්වත් තපෝ ගුණෝපේත භික්‍ෂු නමක් වූහ. අඹගහවත්තේ නාහිමියන්ගෙන් බුරුම රට තොරතුරු අසා දැනගත් පඤ්ඤානන්ද හිමියෝ 1862 සැප්තැම්බර් 17 වෙනිදා බුරුමයේ රාමඤ්ඤ රටට ගොස් එහි කල්‍යාණි සීමාවේ දී තවත් භික්‍ෂූන් එකොළොස් නමක් සමග උපසපන් වී ලක්දිවට පැමිණ ශාසනික වත්පිළිවෙත් පුරන්නට පටන් ගත්හ.
මෙසේ සමාන සංවාසික වූ අඹගහවත්තේ මාහිමි, වරාපිටියේ සිරි සුමිත්ත මාහිමි, පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද මා හිමි යන තුන් නමගේ ම සහභාගීත්වයෙන් ප්‍රථම උපසම්පදා විනය කර්මය මුලින් කී අයුරින් සිදුකොට රාමඤ්ඤ මහා නිකාය පිහිට වූහ. මෙසේ පිහිටුවන ලද එම රාමඤ්ඤ නිකාය අවුරුදු 150 ක කාලයක් මේ රටේ භික්ෂූන් වහන්සේලාගේ ශාසනික ප්‍රතිපත්ති සංවර්ධනය කිරීමට ගත් උත්සාහය මෙතෙකැයි පමණ කළ නොහැකි තරම් ය.
තොරතුරු සදහා සම්පත් දායකත්වය
අධිකරණ නායක මකුලෑවේ විමල නාහිමි
මහාචාර්‍ය්‍ය කෝන්ගස්තැන්නේ ආනන්ද නාහිමි
මහාචාර්ය අත්තංගනේ රතනපාල නාහිමි
සූරියවැවේ සෝමානන්ද හිමි