ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය ආරම්භයේ සිට වැඩ සිටි මහනායක හිමිවරු
1. අතිගරු අඹගහවත්තේ සාසනවංස කවිධජ සිරි සද්ධම්මචරිය යති සංඝපති ඉන්දාසභවරඤාණසාමි මහානායක මාහිමි (1863-1886)
නිකාය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ප්‍රමුඛ ව ක්‍රියා කළත් අඹගහවත්තේ මහ නාහිමියේ මහා ස්ථවිර භාවයට පත්වන තුරු මහානායක ධූරය නොපිළිගත් අතර අනෙක් ශාසනික කටයුතු දිගට ම කරගෙන ගියහ. පසුව 1880 පෙබරවාරි 15 වන දින පයාගල මූල මහා විහාරයේදී රාමඤ්ඤ නිකායේ ප්‍රථම මහා නායක ධූරයට ශාසනවංස කවිධජ සිරි සද්ධම්මාචරිය යති සංඝපති යන ගෞරව උපාධිය සහිත ව මහානායක පදවිය පිළිබඳ අක්තපත්‍රය අඹගහවත්තේ නාහිමියන්ට පිරිනමන ලදී. එයට අත්සන තබන ලද්දේ සංඝස්ථවිර වූ වරාපිටියේ සිරි සුමිත්ත, දීපේගොඩ සීලක්ඛන්ධ, පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද ආදී මූලික මහා ස්වාමීන් වහන්සේලා ඇතුළු 35 නමක් විසිනි. අපමණ ලෝ සසුන් වැඩ වැඩූ මහනාහිමියෝ 1886 ජනවාරි 29 වන දින අපවත් වී වදාළහ.

2. අතිගරු දීපේගොඩ සද්ධම්මවර ජෝතිපාල සීලක්ඛන්ධාභිධාන මහ ස්වාමීන් වහන්සේ (1887-1916)
අඹගහවත්තේ මහ නාහිමිගේ අපවත් වීමෙන් පසු නිකාය පාලනය සඳහා දස වාර්ගික කාරක සංඝ සභාවක් සංඝ සම්මතයෙන් පත්කොට අතිගරු දීපේගොඩ සද්ධම්මවර ජෝතිපාල සීලක්ඛන්ධාභිධාන මහ ස්වාමීන් වහන්සේ දෙවෙනි මහා නායක ධූරයට පත් කරන ලදහ. මේ මහා නාහිමියෝ නිකාය ගෙන ඒම සඳහා අඹගහවත්තේ මහානාහිමියන් සමග බුරුම රට වැඩි ස්ථවිරයන් පස්නමින් එක් නමකි. සීලක්ඛන්ධ මහානාහිමියන්ගේ කාලයෙහි අධිශීල භූමියට පත් භික්‍ෂුවරයාගේ සංගීති පත්‍ර ලියා බාර කරනු පිණිස සඤ්ඤාලේඛකාචරිය නමින් නව පදවියක් ඇති කරන ලදී. 1916 ජූලි මස 3 වෙනි දින දීපේගොඩ සීලක්ඛන්ධ මහානායක ස්වාමීන් වහන්සේ අපවත් වූ බැවින් උන්වහන්සේගේ නිකාය පාලන කාලය අවුරුදු 30 ක් පමණ විය.

3. අතිගරු ඕබඩකන්දේ සිරි විමලානන්දතිස්ස මහා ස්වාමීන් වහන්සේ (1917-1924)
1917 ජූලි 21 වන දින අතිගරු ඕබඩකන්දේ සිරි විමලානන්දතිස්ස මහා ස්වාමීන් වහන්සේ තෙවන මහානායක පදවියට පත් කරන ලදහ. සත් වසරකට සීමා වුණ මේ මහා නායක හිමියන්ගේ පාලන කාලය තුළ අධිකරණ නායක පදවියක් ද අනුනායක පදවියක් ද නිකායේ පාලන කාර්යයට උපකාර වශයෙන් ඇති කරන ලදී. 1924 සැප්තැම්බර් 28 වන දින විමලානන්දතිස්ස මහා නාහිමියන් අපවත් වූහ.

4. අතිගරු සද්ධම්මාචරිය මාතර ඤාණින්දාසභ ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1924-1937)
1924 වර්සයේ දීම අතිගරු සද්ධම්මාචරිය මාතර ඤාණින්දාසභ ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිකායේ සිව්වැනි මහානායක පදවියට පත් කරන ලදහ. උන් වහන්සේගේ පාලන කාලය තුලදී මහා ලේඛක පදවිය ඇති කොට නිකායේ ලිපි ලේඛන කටයුතු ක්‍රමවත් ව පවත්වාගෙන යාමට අවශ්‍ය විධිවිධාන සලස්වන ලදී. 1937 ජූනි මස 30 වන දින මේ මහ නාහිමියන් වහන්සේ අපවත් වූහ.

5. අතිගරු ශාසනවංශ කවිධජ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය කෝදාගොඩ උපසේනාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1937-1940)
අතිගරු ශාසනවංශ කවිධජ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය කෝදාගොඩ උපසේනාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිකායේ පස්වැනි මහානායක ධූරයට පත් කරන ලදහ. උන්වහන්සේගේ කාලයෙහි එවකට කෘෂිකර්ම හා ඉඩම් ඇමති තැන්පත් ඩී.එස්. සේනානායක මැතිතුමාගේ සභාපතිත්වයෙන් රාමඤ්ඤ නිකායාරක්‍ෂක සභාව ආරම්භ කරන ලදී. එසේ ම ප්‍රාදේශික සංඝ සභා කොට්ඨාස 20 කට බෙදා එක් කොටසකින් තුන් නම බැගින් තෝරා ගෙන මුළු ලංකාවම නියෝජනය වන ලෙස හැට නමකින් යුත් පාලක සංඝ සභාවක් ද 20 නමකගෙන් යුතු කාරක සංඝ සභාවක් ද පිහිටුවා ගෙන අභිනව ව්‍යවස්ථා සංග්‍රහයක් ද සම්පාදනය කොට නව පාලන ක්‍රමයකින් නිකාය පාලනය ගෙන යාමට සැලැස්වූහ. මුන් වහන්සේ 1939 ජූලි 24 වෙනි දින අපවත් වූහ.

6. ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය අතිගරු මාතලේ ධම්මසිද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1940-1940)
ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය අතිගරු මාතලේ ධම්මසිද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1940 මැයි මස 08 වෙනි දින හය වෙනි මහානායක පදවියට පත් කර ගන්නා ලදුව අවුරුද්දකට අඩු කාලයක් නිකාය පාලනය කොට 1940 දෙසැම්බර් 07 වන දින අපවත් වූ සේක.

7. සාසන සෝභන යති සංඝපති කරතොට සිරි ඉන්දසාරතිස්ස මහා ස්වාමීන් වහන්සේ (1941-1954)
හත්වෙනි මහානායක ධූරයෙහි වැඩ බැලීමට 1941 ජනවාරි මස 08 වෙනි දින සාසන සෝභන යති සංඝපති කරතොට සිරි ඉන්දසාරතිස්ස මහා ස්වාමීන් වහන්සේ තේරී පත් වූහ. උන් වහන්සේ එම පදවියට ස්ථිරව ම පත් වූයේ 1945 ජූලි මස 20 වෙනි දින දී ය. එයට හේතුව වූයේ නිකාය පාලනය ක්‍රමය ආකූලත්වයට පත් වී තිබීම යි. පසුව එය යථා තත්ත්වයට පත් කොට සිය නමකින් යුත් අභිනව පාලක සංඝ සභාවක් පිහිටුවීමත්, ප්‍රතිපත්තිධර මහා ස්ථවිරයන් වහන්සේලා 10 නමකගෙන් යුත් මහෝපාධ්‍යාය මණ්ඩලයක් පිහිටුවීමත්, මේ මහා නාහිමියන්ගේ කාලයේදී සිදු වූ විශේෂ සේවාවෝ ය. තවද කලින් පැවති මහා ලේඛක පදවිය වෙනුවට සම මහා ලේඛක පදවි දෙකක් වශයෙන් පත් කිරීම සිදුවූයේ ද උන් වහන්සේගේ ව්‍යායාමයක ප්‍රතිඵලය වශයෙනි. සංශෝධනයෙන් පිළිගත් ව්‍යවස්ථා සංග්‍රහයත්, විහාරස්ථාන නාමලේඛනයත්, නිකායේ මූලික කතිකාවතත්, එකට සම්බන්ධ කොට මුද්‍රණය කරන ලද්දේ මේ මහා නාහිමියන්ගේ කාලයේ ය. නිකායේ භික්‍ෂු අධ්‍යාපනය නගා සිටුවීමට පරියත්ති පාලක මණ්ඩලය නමින් අංශයක් ඇති කොට ආගමෝපාධි පරීක්‍ෂා නමින් ත්‍රිපිටක ධර්ම පරීක්‍ෂණයක් ඇඹීම ද මෙකල සිදු වූ වැදගත් සිදුවීමකි. කරතොට මහානායක ස්වාමීන් වහන්සේ 1954 නොවැම්බර් 14 වෙනි දින අපවත් වූසේක.

- අග්ග මහා පණ්ඩිත ධර්‍මකීර්ති ශ්‍රී ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය හිස්සැල්ලේ සිරි ඤාණෝදය මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1954-1966)
කරතොට මහානායක ස්වාමීන් වහන්සේගේ අපවත් වීමෙන් වැඩ බලන මහානායක පදවියට පත් කරනු ලැබූයේ අග්ග මහා පණ්ඩිත ධර්‍මකීර්ති ශ්‍රී ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය හිස්සැල්ලේ සිරි ඤාණෝදය මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. 1956 මැයි මස 15 වන දින ස්ථිර වශයෙන් ම මහානායක ධූරයට පත් උන් වහන්සේ නිකායේ ශත සංවත්සර මහෝත්සවය අති සම්භාවනීය අයුරින් පැවැත්වීමත් එම මහෝත්සවයේදී කුල දරුවන් 500 ක් එකවර පැවිදි කිරීමත් විශේෂ සිද්ධීහු වෙති. මේ මහානායක මාහිමියන්ගේ කාලයේදී අනුනායක පදවි හතරක් ඇති කොට ප්‍රතිබල සම්පන්න සිව්නමක් ඒ සඳහා පත්කොට නිකායේ කටයුතු වඩාත් පෘථුල කරන ලදී. නිකායේ 8 වැනි මහානායක ධූරය හෙබ වූ හිස්සැල්ලේ මහා නාහිමියන් වහන්සේ 1966 ඔක්තෝබර් 13 වෙනිදා අපවත් වූහ.
- අතිගරු චන්ද්‍රකීර්ති ශ්‍රී දීපේගොඩ චන්දවිමල මහා ස්වාමීන් වහන්සේ (1966-1976)
අනතුරුව වැඩ බලන මහානායක පදවියට පත් කළ අතිගරු චන්ද්‍රකීර්ති ශ්‍රී දීපේගොඩ චන්දවිමල මහා ස්වාමීන් වහන්සේ අතිරේක චංශත් වාර්ගික කාරක සංඝ සභාව විසින් සමානච්ඡන්දයෙන් පත් කරන ලද නමුත් එම සම්භාවනීය ශාසනික පදවියට ස්ථිර ලෙසට පත් කෙළේ 1968 පෙබරවාරි මස 20 වෙනි දින නිකායේ පාලක සංඝ සභාව මගිනි. මේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ පාලන කාලය අවුරුදු 10 ක් පමණ විය. ඒ කාලය තුළ සංඝ සභා කොට්ඨාස 30 කට බෙදා එමගින් පාලක සංඝ සභාවට තුන් නමකින් යුත් සාමාජිකයන් තෝරා පත්කොට ශතාධික භික්‍ෂු පිරිසකගෙන් යුත් පාලක මහා සංඝ සභාවක් ද එක් කොට්ඨාසයකට එක නම බැගින් කාරක සාමාජිකයන් පත් කොට අතිරේක විංශත් වාර්ගික කාරක සංඝ සභාවක් ද සම්මත කොට නිකාය පාලනය මැනවින් කරන ලදී. නව වෙනි මහානායක ධූරය හෙබවූ මේ මහා නාහිමියන් වහන්සේ 1976 දෙසැම්බර් මස 18 වෙනි දින අපවත් වී වදාළහ.
- ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය සාසනවංස කවිධජ සිරි සද්ධම්මාචරිය ප්‍රවචන විශාරද රාජකීය පණ්ඩිත විද්‍යා විශාරද අතිපූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්දාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1976-1986)
දීපේගොඩ චන්දවිමල මහා නාහිමියන්ගෙන් පුරප්පාඩු වූ රාමඤ්ඤ මහා නිකායේ 10 වෙනි මහානායක ධූරයට පත් වූයේ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය සාසනවංස කවිධජ සිරි සද්ධම්මාචරිය ප්‍රවචන විශාරද රාජකීය පණ්ඩිත විද්‍යා විශාරද ඉඳුරුවේ උත්තරානන්දාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. 1976 දෙසැම්බර් මස 25 වන දින සිට මහානායක ධූරයට ස්ථිරව ම පත්වූයෙන් නිකාය පරිපාලනය දස වසරක පමණ කාලයක් ඉතා සැලකිල්ලෙන් සිදු කරන ලදී. මේ මහ නාහිමියන්ගේ කාලයේ නිකායේ පාලනයෙහි මෙන් ම සාමාන්‍යයෙන් ද්විවාර්ෂික ව පැවැත්වෙන නිකායේ උපසම්පදා විනයකර්ම වඩාත් සංවිධානාත්මක ව මහාජනානුග්‍රහය ද රාජානුග්‍රහය ද පුළුල් ලෙස ලබා ගෙන මහත් හරසරින් පැවැත්වීමට කටයුතු සැලැස්වූහ. එසේම ම කාලීන අවශ්‍යතාවක් අනුව භික්‍ෂු ප්‍රතිපත්තීන් නිකාය පාලන ක්‍රමයත් යන දෙකින් යුත් ධර්ම විනය මුල්තැන දෙන කතිකාවතක් සම්පාදනය කිරීම සඳහා අනුකාරක සභාවක් පත් කිරීමෙන් ස්ව නිකායේ චිරජීවනය සිදු කරන ලදී. තිහකට සීමා වූ සංඝ සභා කොට්ඨාස මේ මහ නාහිමියන්ගේ කාලයේ දී 35 දක්වා වර්ධනය විය. අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්මපීඨයේ ප්‍රථම පීඨාධිපති ධූරය හෙබ වූ මේ මහ නාහිමියෝ 1986 මාර්තු 15 වෙනි දින අපවත් වී වදාළහ.
- රාජකීය පණ්ඩිත ප්‍රවචන විශාරද ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය අතිපූජ්‍ය පොත්තේවෙල පඤ්ඤාසාර නාහිමියන් වහන්සේ (1986-1997)
ඉඳුරුවේ මහ නාහිමියන්ගෙන් පුරප්පාඩු වූ මහානායක ධූරයෙහි වැඩ බැලීමට පත් වූයේ රාජකීය පණ්ඩිත ප්‍රවචන විශාරද ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය අතිපූජ්‍ය පොත්තේවෙල පඤ්ඤාසාර නාහිමියන් වහන්සේ ය. 1986 අගෝස්තු මස 31 වෙනි දින එම පදවිය ස්ථිර කළෙන් එකොළොස් වෙනි මහානායක ධූරයට පත් වූ පොත්තේවෙල මහා නාහිමියෝ නිකායේ අභිවෘද්ධියට හේතුවන කරුණු රැසක් සම්පාදනය කළහ. මෙතෙක් ගණනින් 35 ක් වූ සංඝ සභා කොට්ඨාස ප්‍රමාණය මේ මහ නාහිමියන්ගේ කාලයෙහි 38 දක්වා වර්ධනය කිරීමත් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායාරක්‍ෂක සභාව වඩාත් කාර්යක්‍ෂම ලෙස මෙහෙයවීමත් නිකායික භික්‍ෂු සංඝයාගේ ධර්මඤාණය දියුණු කරලීම අරභයා පර්යාප්ති පාලක සභාව වඩාත් කාර්යක්ෂම වන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමත් නිකායේ මූලස්ථානය සඳහා බත්තරමුල්ල නගරයෙන් ඉඩම් කොටසක් ලබාගත හැකි වීමත් මේ නාහිමියන්ගේ කාලයේදී සිදු වූ විශේෂ සිදුවීම් ලෙස දැක්විය හැකිය. එසේම මියන්මාර් රජය මගින් පිරිනැමෙන අතිසම්භාවනීය රාජ්‍ය සම්මානයක් වූ අග්ගමහා පණ්ඩිත යන ගෞරව උපාධිය මේ මහනාහිමියන්ට පිරිනැමීම ද නිකායට මහත් අභිමානයක් විය. වසර 82 ක් වූ මේ මහ නාහිමියන් ගේ ජීවිත කාලයෙන් විශිෂ්ඨ ආදර්ශ දක්වා වර්ෂ 11 ක් මහානායක ධූරය හොබවා 1997 දෙසැම්බර් මස 29 වෙනි දින අපවත් වී වදාළහ.
- ශාසනශෝභන ශ්‍රී සද්ධර්මවාගීශ්වරාචාර්ය සරණංකරොපසේන වංශාවතංස ධර්ම ශාස්ත්‍ර ශිරෝමණී අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහා ස්වාමීන් වහන්සේ (1998-2012)
පොත්තේවෙල මහ නාහිමියන් වහන්සේගේ අපවත් වීමෙන් පසු 12 වන මහනායක ධූරයට පත් වූයේ මීරිගම ශාසන වර්ධන පිරුවන් විහාරාධිපති ශාසනශෝභන ශ්‍රී සද්ධර්මවාගීශ්වරාචාර්ය සරණංකරොපසේන වංශාවතංස ධර්ම ශාස්ත්‍ර ශිරෝමණී අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහා ස්වාමීන් වහන්සේ ය. 1998.01.03 වෙනි දින සිට මහානායක ධූරයේ වැඩ බැලීමට පත් මේ මහා නාහිමියන් 1998.03.28 වෙනි දින ස්ථිර ව ම පත් වූයෙන් නිකාය පරිපාලන කටයුතු තුදුස් (14) වසරක් පමණ කාලයක් මහත් සැලකිල්ලෙන් ඉටු කරන ලදී. මේ මහ නාහිමියන්ගේ කාලය තුළ නිකාය අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු රැසක් ඉටුවිය. නිකාය පරිපාලන කටයුතු මෙහෙය වීම පිණිස නාරාහේන්පිට (ඇපලෝ රෝහල අසල) මූලස්ථාන ගොඩනැගිල්ලක් ඉදි කිරීමට අනුශාසනා කිරීම තිස් අටක් වූ සංඝ සභා ප්‍රමාණය 44 දක්වා වර්ධනය කිරීම පළාත් නායක පදවි ප්‍රතිශ්ඨාපනය කිරීම කතිකාවත සංශෝධනය කරවා (2003 මාර්තු 15) ක්‍රියාත්මක කරවීම ත්‍රිපිටක ධර්ම පීඨයක් ආරම්භ කිරීමට කටයුතු කිරීම, බුද්ද වර්ෂ 2550 සම්පූර්ණ වීම නිමිති කරගෙන දහසක් කුල දරුවන් පැවිදි කිරීම පිණිස සංඝ සභා මට්ටමින් ඒ ඒ විහාරස්ථාන වලදී ද නිදහස් චතුරස්‍රයේ දී සියයක් හා අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී කුල දරුවන් 100 ක් පැවිදි කිරීමෙන් ද සම්පූර්ණ කරන ලදී. එසේ ම මහ නාහිමි ජන්ම ශත සංවත්සරය නිමිති කරගෙන පිරිස්යාල පිරිවෙනේ දී කුල දරුවන් 100 ක් පැවිදි කිරීම, නිකායාරක්‍ෂක සභාව වඩාත් ක්‍රියාත්මක සභාවක් වශයෙන් පවත්වාගෙන යෑම ආදී කටයුතු මේ මහා නාහිමියන්ගේ කාලයේදී සිදු වූ විශේෂ සිදුවීම් ලෙස දැක්විය හැකිය.
වසර 103 ක් ආයු වැළඳූ මේ මහ නාහිමියන්ගේ පැවිදි ජීවිතය වසර 90 ක් වූ අතර උපසම්පදාවෙන් වසර 82 ක් ගත කිරීම ද විශේෂ අවස්ථාවක් වශයෙන් සැලකිය හැකි ය. වසර 14 ක් පමණ කාලයක් මහානායක ධූරයේ විශිෂ්ඨ ආදර්ශ දක්වමින් ක්‍රියා කළ වේවැල්දෙණියේ මහානාහිමියෝ 2010 ට අගෝස්තු 29 දින අපවත් වී වදාළහ.
- අග්ගමහා පණ්ඩිත රාජකීය පණ්ඩිත විනය විශාරද අතිපූජ්‍ය නාපාන පෙමසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ (2012 සිට)
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ 13 වන මහානායක ධූරයට පත්වූයේ මැණික්හින්න හුරීකඩුව විද්‍යාසාගර පිරුවන් විහාරාධිපති අග්ගමහා පණ්ඩිත රාජකීය පණ්ඩිත විනය විශාරද අතිපූජ්‍ය නාපාන පෙමසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. උන්වහන්සේ වර්තමානයේ ස්වකීය සංඝපීතෘත්වයෙන් නිකාය අභිවෘද්ධිය පිණිස කටයුතු කරන සේක.